උතුම් බඹසරක පින.

🌹උතුම් බඹසරක පින🌹

අනාගතයේ මේ සීලය ලෝකයෙන් අතුරුදහන් වනවා. ඒ ගැන කතා කරන්නේවත් නැතිව යනවා. කාම සිත් පාලනය කිරීම මානසික රෝග උපද්දවන හේතුවක් බව දැනටමත් කාමුකයන් පවසනවා. නමුත් ලෝකයේ ශ්රේෂ්ඨ පුරුෂයන් පුරුදු කළ එක්තරා ප්රතිපදාවක් මේක. පැවිදි වූ අය මුළු ජීවිතය ම බඹසරට පුදන්න ඕනා. දරුවන් විවාහ වන තුරු කුමර බඹසර, කුමරි බඹසර රකින්න ඕනා. ඒක මහා වාසනාවක්.
අනාගතය සාර්ථක කරනවා. විවාහ වූ අය කාලෙන් කාලෙට බඹසර රකින එක හොඳයි. වයසක අයත් දිවි හිමියෙන් සමාදන් වන්නට වටිනවා. කෙසේ නමුත් මේ උතුම් සීලය ආරක්ෂා කරගෙන පින් පල විපාක ලැබූ සොඳුරු කතාවක් ගැනයි දැන් ඔබට කියවන්න ලැබෙන්නේ.
මේ මහා භද්ර කල්පයේ කකුසඳ භාග්යවතුන් වහන්සේ පහළ වුනා. ඒ කාලේ එක්තරා භික්ෂුවක් හිටියා. උන්වහන්සේ හරි පරිස්සමෙන් බඹසර රැකගත්තා. නොමග යන හිත පාලනය කරගන්න උත්සාහ කළා. සීලය හොඳින් ආරක්ෂා කළා. ඒ අතර බ්රහ්මචාරී බව පණ වගේ රැක ගත්තා. තථාගත ශ්රී සද්ධර්මය ශ්රවණය කළා. ඒත් මග ඵල ලබන්න බැරි වුණා. එතනින් කළුරිය කරලා දෙව්ලොව උපන්නා. සසර ගමනට වැටුනා. මේ සසරෙන් ගැලවෙන එක ලේසි නැහැ. සමහරවිට බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලත් මග හැරෙනවා. රහතුන් ළග ඉඳලත් මග හැරෙනවා.
සසරින් එතෙර වනවා කියන්නේ විස්මිත ප්රාතිහාර්යයක්. අතිශයින්ම විස්මිතයි. නමුත් බුද්ධ ශාසනයක් මුණ ගැහීම භාග්යයක්. ඒක කවදා හරි විපාක දෙනවා. ඉතින් මේ කෙනා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැදි පවුලක උපන්නා. පුදුම සසරක් කියන්නේ ඒ නිසයි. දැන් ඉතින් පුංචි කාලේ ඉඳලා දඩයමේ යනවා. මේ පොඩි ළමයා හරි දරදඬුයි. කාටවත් නැමෙන්නේ නෑ. කතා බහ අඩුයි. හරි සවිශක්තියෙන් යුක්තයි. වයස හතේදී මහා පොරවක් අතට දීලා අම්මා කිව්වා ‘තෝ දැන් තනියෙන් දඩයන් කොරාන ජීවත් වෙයං. ආයෙ මෙහෙ එන්ට එපා.’ කියලා. දැන් පොඩි එකා තනියෙන් ජීවත් වෙනවා. මොහුගේ හයි හත්තිය කොච්චර ද කියන්නේ ළඟට එන දිවියාට විලුඹින් ගසා හිස කුඩු කරන්න පුළුවන්. මොහුගේ හඬට සිංහයෝ මග හරිනවා. ඒ වනයට මිනිස්සුත් යන්න බයයි.
මිනිස්සු හිතුවේ අංගුලිමාල ඉන්නේ ඒ කැලේ කියලා. දැන් මේ වැද්දා වයසින් මෝරලා. හැබැයි ජීවිතේට නොසිතුන දෙයක් තිබුණා. ඒ තමයි කාන්තාවකගේ පහස ලබන්න ඕනා යන අදහස. ඔහුට ස්ත්රීන් අප්රියයි. ඒ වැද්දා උපතින්ම කාම ක්රීඩාවෙන් බැහැර වූ කෙනෙක්. ඒ සසරේ බඹසර රැක්ක පින. අපගේ ආර්ය වූ අංගුලිමාලයන් වහන්සේගේ වනවාසී ජීවිතයත් ඒ වගේමයි. අංගුලිමාලයන් ඇඟිල්ල කපාගන්නවා මිසක් ස්ත්රියකගේ ශරීරය කවදාවත් ස්පර්ශ කරලා නැහැ. මලමිනී සමග කාම සේවනයේ යෙදෙන සිද්ධි අද කාලයේ අහන්නට ලැබෙතත් නාඹර තරුණ වියේ සිටි අංගුලිමාල ඒ පෙරේතකම බැහැර කළ කෙනෙක්. අංගුලිමාලයන් ද හරිම පිරිසිදු කෙනෙක් ඒ ජීවිතයෙන්.
ඉතින් අර වැද්දා කාටවත් යටහත් නැහැ. ඇත්තු පවා ඔහු ඉන්න දිශාව මග හරිනවා. පුදුම තේජසක්. ඒ කලින් රැකපු බඹසරේ විපාක. බ්රහ්මචාරී සීලයේ පිනෙන් තේජස උපද්දවනවා.
කාමාශක්ත බව කෙනෙකුව හීන කරවනවා. දිනක් මහවනයේ ඇවිදගෙන යද්දි මහා තෙදවත් රහතන් වහන්සේ නමක් මුණ ගැසුනා. උන්වහන්සේ දුටු ගමන් මේ වැද්දාගේ දණහිස් පණ නැතිව දණ ගැහුණා. අත් දෙක එකතු කරගෙන බලාන හිටියා.
උන්වහන්සේ ළගට ඇවිත් පාත්රය වැද්දාගේ අතේ තිබ්බා. වැද්දා පසුම්බියෙන් පැණිවල දාපු දඩ මස් පාත්රයට පූජා කළා. පැත්තකින් ඉඳගෙන වළඳන හැටි බලාන හිටියා. උන්වහන්සේ ඇහුවා ඔය පව් වැඩ නතර කරන්න බැරිද කියලා. වැද්දා ඇහුවා පව් වැඩ කියන්නේ මොනවද කියලා. උන්වහන්සේ තිසරණය සරණ කරගෙන පවින් වළකින හැටි කියා දුන්නා. සිල් රකින හැටි කියා දුන්නා. තුන්වැනි සිල් පදයත් බඹසරත් ගැන කියා දෙද්දි ම ඒ වැද්දා සෝවාන් ඵලයට පත් වුණා. මීට කලින් බුද්ධ ශාසනයක බඹසර රැකීමේ පින ඒ විදිහට විපාක දුන්නා. හරිම පුදුම සහගතයි නේද!
ඉතින් ආයේ ඒ ශ්රමණයන් වහන්සේ දකින්න ලැබුනේ නැහැ. ඔහු පවින් වැළකුනා. ටික කාලයකින් ඔහු අකාලේ මිය ගියා. තව්තිසාවේ උපන්නා. අපගේ ආර්ය වූ අංගුලිමාලයන් වහන්සේ ද ටික කාලයයි වැඩ ඉඳලා තියෙන්නේ. ඉක්මනින් පිරිනිවන් පෑවා. ප්රාණඝාතයේ ම යෙදිලා ඉන් වැළකුණු අයගේ ඉරණම ඔය විදිහට තමයි විසඳිලා තියෙන්නේ.
ඉතින අර දිව්ය පුත්රයාට දිව්ය අප්සරාවෝ හැටදාහක් ඉන්නවා. රන් ලියවැල් වගේ ලස්සනයි. ඒත් ඔහු බ්රහ්මචාරීයි.
එච්චර ලස්සන දිව්ය ස්ත්රීන් හැටදාහක් මැද පිරිසිදු ප්රතිපදාවක ඉන්න හැකියාව ඉපැද්දුවේ සසරේ රැකපු බඹසරයි. ඒ දිව්යපුත්රයාගේ අණට සියලු දෙනා යටත්. ඒ අප්සරාවෝ ද දාසියන් සේ යටහත් පහත්ව ගරු බුහුමන් දක්වමින් ඔවුන් ද බඹසර රකිනවා. ස්ත්රීන්ට යටත් නොවී තමන්ගේ වචනයට ස්ත්රීන් යටත් වීමේ සංස්කාරය බඹසරින් උපද්දවනවා. ඒ වගේම බලන්න කෙනෙකුගේ බඹසර තවත් කී දෙනෙක්ගේ බඹසරට බලපානවාද කියලා. යම් කෙනෙක් බඹසරට ආසා කොට දෙව්ලොව උපදිද්දී ඔවුහූ මේ දිව්යපුත්රයා යටතේ ම උපත ලබලා තියෙනවා. මේ දිව්යපුත්රයාගේ විමානයේ දොරටුපාලයා පවා බ්රහ්මචාරීයි. ඒ විමානයේ කිසිවෙක් බඹසරට අකැමති අය නම් නැත.

කාමය නම් පිළිකුල්ය. ඔවුන් නිතර පතනා දෙයක් ඇත, එනම් නිවන් දකිනා ජාති දක්වා කරුණක් ඇතිව හෝ පිරිමියෙක්වත් අපගේ ශරීර ස්පර්ශ නොකරත්වා යන ප්රාර්ථනාවයි. ස්ත්රීන් ගැන කවර කතාද? එතරම් බඹසරට ආසා ඇත්තේය. එහි සැපය එතරම් දන්න නිසා එසේ ප්රාර්ථනා කරති.
බ්රහ්මචාරීහු බ්රහ්මචාරීන්ට ම මුණ ගැසෙනවා. එයත් බඹසරෙහි විපාකයක්. ඒ දිව්යපුත්රයා මාර්ගඵලලාභී කෙනෙක් නිසා ඔහුගේ පිරිවරට කොතරම් අනුග්රහයක් ද. ඉතින් මේ දිව්යපුත්රයා සුධර්මා දිව්ය සභාවට පැමිණෙද්දී සියලු දෙවිවරු හිස පහත් කොට ගරු කරනවා. ඒ වනාහී බඹසරෙහි විපාකයකි. සක් දෙවිඳු තම යහළුවෙකු සේ ඇසුරු කරනවා. උතුම් අයගේ ඇසුර බඹසර නිසා ලබා දෙනවා. මොහුට දිව්ය සභාවේ නියෝග පැනවෙන්නෙ නෑ.
මොහුගේ අදහස් විමසනවා. අන් අයට දාස නොවීමට බඹසර පින බලපානවා. මේ වනාහී එක්තරා දෙවියෙකුගේ විමාන කතාවකි. මේ කතාව බඹසර රකින අයට දෙව්ලොවත් බඹසර රැකීමට උපකාර ඇති බවට මහත් අස්වැසිල්ලකි. අමාරුවෙන් නමුත් උතුම් සීලයක් පුරුදු කරනකොට එහි විපාකය කවදා හෝ තමාව සුවපත් කරන බවයි ඒ විස්තර කෙරුණේ. තුනුරුවන් පිහිට කරගෙන ශාසනයට ගෞරවයෙන් සිල් රැකීම කොයි තරම් යහපත් දැයි දැන් ඔබට තේරෙනවා ඇති.
මේ කතාව බඹසරේ පිනට එක් උදාහරණයක් පමණි. තවත් කොයිතරම් නම් විස්තර ඇත්ද!
අද පවා සසරේ කරන ලද පින්වල විපාකයෙන් හොඳින් බඹසර ආරක්ෂා කරගෙන ගුණධර්ම පුරුදු කරන අය සිටිනවා. ඒක මහා වාසනාවක්. තවත් බෙහෝ දෙනා සිල් පුරුදු කරන්නට ගොස් නොහැකි වීමෙන් පීඩාවෙන් සිටිනවා. අපට නොහැකි යැයි අඳෝනා නගනවා. නමුත් හේතු හැදෙනකොට ඵලය ලැබෙනවා. ඒ නිසා බඹසර රකිමින් පිං කරන්න.

☸ධර්ම දානය පිණිස මිතුරන් අතර share කරන්න☸

                        🌹තෙරුවන් සරණයි 🌹

රුවන්වැලි මහා සෑයට ජීවිත පූජාව කරන්නේ කෙසේද?

🙏 රුවන්වැලි මහා සෑයට ජීවිත පූජාව කරන්නේ කෙසේද? 🙏

ඔබට රැකවරණය පතා එක එක දේවාල පස්සෙ ,කුම්භාණ්ඩයෝ පස්සෙ යන්න එපා.. පූජා කරන්න ඔබේ ජීවිතය රුවන්වැලි මහා සෑයට… මේ ලිපිය හොඳින් කියවන්න.. තෙරුවන් සරණයි පින්වත් ඔබට..
ස්වරණමාලි මහා සෑයේ අනුහස්ගැන ඔබ දන්නේද?

  • මහා සෑයට ජීවිත පූජාව කරන්නේ කෙසේද?
  • ඔබටත් දරැපල නැතිද?
  • ඔබටත් අමුනුෂ්‍ය ලෝකයේ ප්‍රශ්ණ ඇත්ද?
  • ඔබටත් අණවින කොඩිවින කර ඇත්ද?
  • ඔබට ලෙඩදුක කරදර වැඩිද?

මෙන්න බෞද්ධ පිළිසරණ.

මේ ලෝකයේ දීර්ඝායුෂ මෙන්ම අල්පායුෂ බුදුරජාණන් වහන්සේ පහළ වන සේක.

දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදීමක් සිදුනොවේ. බුද්ධ ශරීරයම එකම ධාතුන් වහන්සේ නමක් ලෙස ඉතිරිවේ. එය “ඒකඝනවීම” ලෙස හැඳින්වේ. අටවිසි බුදුරජාණන් වහන්සේ අතරින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ බෙදුණ අතර එම ධාතුන් වහන්සේ මුං පියලි, කඩ සහල් සහ අබ ඇට ප්‍රමාණයට බෙදිණ.

මේ තුන් ලෝකයේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ එකම තැන පිහිටා ඇත්තේ රුවන්වැලි මහා සෑයේ යි.

බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අඩු නිසා උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් මිනිසුන්ටත්, දෙවියන්ටත් වැඳ පුදාගෙන සුගති සැප සලසා ගැනීම පිණිසයි ධාතුන් වහන්සේ ඉතිරිවෙන්නේ. ඒ නිසා රුවන්වැලි සෑය වැනි උතුම් ස්ථානවල ධාතුන් වහන්සේ වඳින,පුදන,සත්කාර කරන චිත්තප්‍රසාදයෙන් පසුවෙන අයට දෙව්ලොව උපත් හිමි වනබව සඳහන් වේ.

එසේනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රන්වැලි මහා සෑයට හෝ වෙනත් ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපවලට වඳින, පුදන, ගෞරව උපහාර කරන පිරිස දෙව්ලොව යති.

අමාමහ නිවනට පින් පිරෙන පුණ්‍ය කර්ම ගැන සඳහන් “නිදිකණ්ඩ” සූත්‍රයේ දැක්වෙන්නේ දාගැබ් වන්දනා කරනවානම්, නිවන පිණිස පින් පිරෙන බවයි.

ඒ වගේම ථේරාපදානයක “ධාතු පූජික” නම් රහතන් වහන්සේගේ විස්තරයක් සඳහන්. උන්වහන්සේ අරහත්වයට පත් වූ පසු ජීවිතය ආපස්සට බැලූ කල දකින්නේ ධාතුන් වහන්සේ වන්දනා කළ පින් බලයෙනුයි උන්වහන්සේ අරහත්වයට පත්වී ඇත්තේ.

එනිසා අමා නිවන සොයාගෙන යන කෙනෙක් සිටීනම් රුවන්වැලි මහා සෑය වගේ උතුම් ස්ථාන වන්දනා කරමින් නිවන තුළ සිත පිහිටුවා ගැනීමමයි වටින්නේ.

අද කාලයේ බොහෝ දෙනෙකු විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳී. ඒ අතර අමනුස්සයන්ගෙන් වෙන කරදර විශේෂයි. යක්ෂ, පේ‍්‍රත, භූත, පිසාච, කුම්භාණ්ඩ වගේම අණවින, කොඩිවිණ, හදි හූනියම් ආදී දෝස වලින් දුක් විඳී.

මිනිසුන්ට එන මේ දුක් කරදර පීඩා වලින් ගැලවීමට අපහසුය. ඊට අමතරව යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන් කරන මිනිසුන් අහිංසක මිනිසුන් නොමඟ යවති.

මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය සම්පූර්ණ භූමිය වටා පැතිරී තිබෙන අතර එහි රහතන් වහන්සේ බොහෝ සේ වන්දනා කළ ස්ථානයි. ඒ වගේම රහතන් වහන්සේ පිරිත් දේශනාකළ, සාධුකාර දුන් තැන්. රුවන්වැලි මහා සෑ මළුව කියන්නේ අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් නොවේ.

යම් කෙනෙකුට අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබේනම් අණවින කොඩිවින දෝෂ තිබේනම් ඒ අයට රුවන්වැලි සෑය ඇසුරෙන් ඒ දෝෂ මඟහරවා ගත හැකියි. එසේ පිහිට ලබාගත් අය සිටින අතර ඒ සඳහා කළයුතු වත්පිළිවෙත් ද තිබේ.

එසේ කරදර තිබේනම් ඔබ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර බුදුගුණ, රතන සූත්‍රය ආදිය සජ්ඣායනා කොට සෑය වටා තුන්වතාවක් ප්‍රදක්ෂිණා කරන්න. ඉන්පසු මහා සෑයේ පාදමේ නළල තබා වන්දනා කරන්න.

මහා සෑය භාග්‍යවතුන් වහන්සේ ලෙස සිතා උන්වහන්සේගේ සිරිපා කමළ වන්දනා කරමියි යන චිත්තප්‍රසාදයෙන් යුතුව බුද්ධ වන්දනාව කළ හැකියි.

රතන සූත්‍රය, ආටානාටිය තුන් වතාවක් හෝ සජ්ඣායනයෙන් පසු නැවත භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන ආකාරයට මහා සෑය වඳින්න.

ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රත්නමාලි මහා සෑයට නමස්කාර වේවා.
මාගේ ජීවිතය ධාතුන් වහන්සේ තැන්පත් මහා සෑයට පූජා කරමි. පූජා වේවා.

ඒ සෑයේ අනුහසින් මාගේ දොස් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් පාදමේ නළල තබාගෙන අධිෂ්ඨාන කළයුතු වේ.

නැවත මෙත්සිත පතුරන සූත්‍ර සජ්ඣායනා කර දෙවියන්ට පින් දෙන්න.

මේ ආකාරයට පැයකට අධික වෙලාවක් සෑ මළුවේ ගත කිරීමෙන් ඔබට බොහෝ සෙත සැලසේ..

ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ අනුභාවයෙන්, ඔබට සෙත් වෙනවාමයි.

ඒ වගේම යම් කරදරයකදී ඉවසීම දුර්වල පුද්ගලයන් මානසිකව ඇද වැටේ. එවැනි අයත් පෙර කී පිළිවෙලටම පාදමේ නළල තබා වන්දනා කරන්න.

පෙර ජීවත් වූ මිනිසුන් ගේ චාරිත්‍රයක් ලෙස පොල් ගෙඩිය ප්‍රාණය ලෙස සිතා මහා සෑයට ප්‍රාණ පූජාව ලෙස පොල් පූජා කර තිබේ.

ඉන්පසු ජීවිත පූජාව කෙරේ. මේ ආකාරයට බොහෝ දෙනා සුවපත් වී තිබේ.

සැදැහැවතුන් ආරක්ෂා කරන දේව මණ්ඩලයක් තිබෙන අතර ඔවුන්”සෙන්පති දෙවිවරු” ය. දෙවියන්, මිනිස් ලොව දෙස බලනවිට මුලින්ම පෙනෙන්නේ රුවන්වැලි මහා සෑයයි. ආටානාටියේ සඳහන් වන “ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝච” කියන ගාථාව හත් වතාවක්වත් සජ්ඣායනා කිරීම උතුම්.

එසේ කියනවිට දෙවියන්ට එය දැනේ. එය බලය බවට පත්වේ. මෙබඳු පිරිස බෞද්ධ කොඩි, හැරයටි, ඖෂධ මහා සෑයට පූජා කිරීමෙන් ධාතුන් වහන්සේගෙන් පිහිට ලබාගත හැකියි.

රතන සූත්‍රය, ධජග්ගය ආටානාටිය ආදී පිරිත් කියමින් සෑ මළුවේ වැඩි වෙලාවක් ගත කිරීම සුදුසුයි.

ඒ වගේම ලෙඩ දුක් වැඩි අය ඖෂධ පූජාවක් මහා සෑයට පූජා කරමින් වන්දනා කිරීම සුදුසුයි. ජීවිත පූජාව හතර පස් දෙනා එකතුව කිරීම අපහසුයි එය තනිව තනිවම අවංකව කළයුතු වේ.

අද කාලයේ තිබෙන වටපිටාවත් සමඟ බොහෝ තරුණ පිරිස කාමයට ඇබ්බැහිවීමක් තිබෙන අතර එයින් ගැලවීමට අවශ්‍යතාවයක් තිබුණත් ගැලවීමට නොහැකිව සිටී.

දුරකතන සහ පරිගණක භාවිතය නිසා නොමඟ ගිය පිරිසට යහමඟට ඒමට අපහසුයි.

ඒ වගේ අය මහාසෑය අනිවාර්යයෙන්ම වැඳ ජීවිතය පූජා කළයුතු වේ. පළමු අවස්ථාවේ සුවයක් නැත්නම් දෙවැනි වතාවේදීත්, තුන්වැනි වතාවේදීත් මහසෑය වන්දනා කළයුතුයි. මේ ආකාරයට රුවන්වැලි මහා සෑයම ඇසුරු කරගෙන ඒ ප්‍රශ්නය විසඳා ගත හැකියි.

අප දන්නවා පොඩි දරුවන් ලෙඩ වුණාම වැඩිහිටියන් කියනවා ඇස්වහ, කටවහ දෝෂ කියා. ඒ වාගේ අවස්ථාවලදී ධජග්ග පිරිත සුදුසුයි. රෝගාතුර අයෙක් වෙනුවෙන් මහාසෑය වන්දනා කරද්දී බොජ්ඣංග පිරිත සුදුසුයි.

ඒ වගේම දරුවන් බලාපොරොත්තුව සිටින අයටත් මහාසෑයෙන් පිළිසරණක් ලබාගත හැකියි.

පෙර කී පිළිවෙලට වන්දනා කොට දෙදෙනාගේම ජීවිත මහා සෑයට පූජා කරමින් අංගුලිමාල පිරිත විසිඑක් වතාවත් හෝ සජ්ඣායනා කිරීමත් දම්සක්පැවතුම් සූත්‍රය සජ්ඣායන කර පින්වත් දරුවෙකු ප්‍රාර්ථනා කළ යුතු වේ.

පැන් පාත්‍රයක් මහා සෑයට පූජා කර පිරිත් කියා අවසානයේ මහාසෑයෙන් අවසර ගෙන පැන් පාත්‍රය දින කිහිපයක් මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඒ පැන් පානය කළ යුතුයි. ඒ වත්පිළිවෙත් කරන අතර අභයදාන පින්කම් ද කළ හැකියි.

එනිසා ලංකා ධරණීතලයේ සැදැහැවන්ත ශ්‍රාවකයා පුළුවන් හැම අවස්ථාවකම මාස හයකට වතාවක් හෝ අවුරුද්දට වතාවක් හෝ මහාසෑය අනිවාර්යෙන් වන්දනා කළයුතු වේ.

අනිවාර්යෙන් ජීවිත පූජාව කළයුතුයි. එයින් විශාල ශක්තියක් ලැබේ.

මේ ආකාරයට මහාසෑය පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් ඇතිකරගත් පසු තමන්ගේ නිවසේ බුදුපහන දල්වා තමන්ට පිහිට ලබාගත හැකිය.

එසේනම් අප නොදන්නාකම නිසාම අප අසලම ලොකු සම්පතක්, වස්තුවක් තබාගෙනයි විවිධ අරමුණුවල සිර වී සිටින්නේ.

රුවන්වැලි සෑයට ඒ ආකාරයෙන් පූජාවක් කිරීමේ වාසිය තමන්ට පැමිණ තිබෙන දෝෂ දුරුවීමත් අප්‍රකටව ඇති දෝෂ ඉස්මතු නොවීමත්ය.

ඒ වගේම ඒ දෝෂවලින් පිහිටක් ගන්න තමන්ට යම් මාර්ගයක් හෝ සැකසෙති.

මේ අකාරයට තමන්ගේ නිවසේ ප්‍රශ්නවලදී, විවාහ ජීවිත ගැටළුවලදී, ඉඩකඩම් ප්‍රශ්නවලදී භූමි ප්‍රශ්නවලදී මහා සෑයේ පිහිට ලබාගත හැකිය.

කර්මදෝෂයක් හැරුණ විට සාමාන්‍ය දෝෂවලින් හටගන්නා ලෙඩදුක් කරදර පීඩා තිබේනම් රුවන්වැලි සෑයේ වැඩසිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය රහතන් වහන්සේගේ අධිෂ්ඨානය සිහි කරන්න.

බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ වැඩසිටි බිම, රහතන් වහන්සේ මහාසෑය වන්දනා කළ පින, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන්, රහතන් වහන්සේගේ, දෙවියන්ගේ සෘර්ධියෙන්, ගොඩනැඟුන මහා සෑය ගැන සිහිකරමින් වතාවත් කරනවිට ඒ ධාතුන් වහන්සේට වඳින පුදන පිනයි, පිරිත් ආදියේ බලයයි එකතු වේ.

තිස්පැයේම දෙවියන් වන්දනා කරන යම් තැනක් තිබේනම් ඒ මහා සෑයයි.

ඕනෑම වෙලාවක එතැන දෙවි කෙනෙක් සිටී.

ඒ දෙවියන්ගේ බැල්ම ලැබෙන අතර අප වැඩි කාලයක් මළුවේ වන්දනා කිරීමෙන් සමහර විට දෙවිවරුන් මොහුගේ ඉෂ්ඨකාමී දෙවියෙකු සම්බන්ධ කර ප්‍රශ්න සංසිඳවීමට උපකාර කරති.

එනිසා තෙරුවන් සිහිකොට වන්දනා කර ජීවිතය පූජා කරමින් අපට පිහිටක් ලබාගත හැකියි.

අපට තිබෙන මහා සම්පතක් වන මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට පිහිට පිළිසරණ සැලසේවා.

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ලිපියක් ඇසුරිනි.

ලෝසක ජාතකය..

🌹041. ලෝසක ජාතකය

☸ලෝසක රහතන් වහන්සේගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, යම් කෙනෙකුට යමක් ලැබෙන්ට තියෙනවා නම් කවදාවත් ඒකට අකුල් හෙලන්ට හොඳ නෑ. වළක්වන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේට ඊර්ෂ්‍යා කොට එය නැති කර දාපු හේතුවෙන් සසරේ බොහෝ කලක් දුක් වින්ද ඉතා ම ශෝචනීය කථාවක් දැන් ඉගෙන ගන්නේ.

ඒ කාලේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනයේ. ඒ කාලෙම කොසොල් රටේ මාළු මරණ මිනිසුන් ඉන්න ගම්මානෙක, ලැබීමේ පිනෙන් ගොඩාක් දුර්වල දරුවෙක් උපන්නා. ඒ දරුවා පිළිසඳ ගත්තු දවසේ මේ පවුල් දහසකින් යුතු මුළු කෙවුල් ගම්මානෙට ම එකම මාළුවෙක්වත් අල්ලගන්ට බැරි වුණා. දරුවා මව්කුසේ වැඩෙද්දී ඒ ගමේ ගෙවල් සත් වතාවක් ගිනිගත්තා. රජ්ජුරුවන්ගෙනුත් හත් වතාවක් දඩ කෑවා. ක්‍රමයෙන් මුළු කෙවුල් ගම්මානය ම දුකට පත්වෙලා අසරණ වෙලා ගියා. මාළු අල්ලන ගම් ප්‍රධානීන් මේ ගැන සාකච්ඡා කළා.

“මේක හරි පුදුම දෙයක් නොවැ… එන්න එන්නම අපි නැත්තටම නැති වුණා…. මෙතෙක් කාලෙකට මෙහෙම විපැත්තියක් වුණේ නෑ…! මොකෙක් හරි කාලකන්නියෙක් මේ ගම්මානේ ඉපදිලාවත් ද…? අපි ගමේ ගෙවල් පන්සීය බැගින් දෙකට බෙදමු. එතකොට සොයාගන්ට ඇහැක් වේවි….!” කියලා ක්‍රමක්‍රමයෙන් ගෙවල් බෙද බෙදා ගියා. අර දරුවා පිළිසිඳගත් ගෙය ඉතිරි වුණා. අනිත් පවුල් ක්‍රමයෙන් දියුණු වුණා. එතකොට ගම්මු එකතුවෙලා ඒ පවුල ම ගමෙන් පැන්නුවා!

අර අම්මා ඉතා ම දුක සේ බඩකුත් උස්සාගෙන ජීවත් වුණා. පුතෙක් බිහි කළා. මේ ඒ දරුවාගේ සසර ගමනේ අවසන් ආත්මයයි. උතුම් රහත් ඵලයට පත්වීමේ වාසනාව කළයක් ඇතුළේ දැල්වෙන පහනක් වගේ තමන්ගේ සිතේ බැබළි බැබළී තිබුණා. ඒ අම්මා ඉතා ම දුක සේ මේ දරුවා පෝෂණය කළා. මේ දරුවාට ඇවිද යන්ට පුළුවන් වුණාට පස්සේ කබලක් අතට දුන්නා.

“පුතේ… ආන්න අර පේන ගෙදරට ගොහින් මොකවත් ඉල්ලාගෙන කාපන්…” කියලා දරුවා පිටත් කළා. අම්මා ළමයා දාලා පැනලා ගියා. එදා පටන් මේ දරුවා තනි වුණා. හරි හමන් කෑමක් බීමක් නෑමක් නිදීමක් මොකවත් නෑ. පාංශුපිශාචයෙක් වගේ ඉතාමත් දුක සේ ජීවත් වුණා. ගෙවල්වල වළං පිඟන් සෝදා වීසි කරන ඉඳුල් කන කපුටෙක් වගේ බත් ඇට ඇහිඳගෙන කකා අනුක්‍රමයෙන් දරුවා සත් හැවිරිදි වුණා.

දවසක් අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ සැවැත්නුවර පිඬු සිඟා වඩිද්දී මහා දුක්ඛිත ජීවිතයක් ගෙවන මේ දරුවා දකින්ට ලැබුණා. “දරුවෝ මෙහෙ එන්න….” කියලා මේ දරුවට කතා කළා. එතකොට මොහු ගිහින් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා.

“දරුවෝ…. ඔයා කොයි ගමේ කෙනෙක් ද…? ඔයාගේ අම්මා තාත්තා කවුද….?”

“ස්වාමීනී…. මං නිසා අපේ අම්මටයි තාත්තටයි හරී කරදරයිලු…! ඉතින් එයාලා මාව දාලා ගියා….”

“දරුවෝ…. ඔයා මං වගේ පැවිදි වෙන්න කැමති ද…?”

“අනේ ස්වාමීනී…. මං වගේ කෙනෙක් මහණ කරන්නේ කවුද…?”

“ඇයි මම ඉන්නේ….? මම මහණ කරන්නම්…”

එතකොට ඒ දරුවා කැමති වුණා. සාරිපුත්තයන් වහන්සේ මේ දරුවා විහාරයට කැඳවාගෙන ගියා. සිය අතින් ම පිරිසිදු කොට වතුර නෑව්වා. කෑම බීම දුන්නා. පැවිදි කළා. විසි වයස වෙද්දි උපසම්පදාත් කළා. මේ අල්පලාභී භික්ෂුව වයසට යද්දී ‘ලෝසකතිස්ස තෙරණුවෝ’ කියලා ප්‍රසිද්ධ වුණා. සිව්පසය ලබන්ට පිනක් නැති තරම්. කොසොල් රජ්ජුරුවන්ගේ අසදෘශ මහා දානෙදිවත් කුසගිනි නැතිවෙන්ට තරම් ආහාරයක් ලැබුණේ නෑ! පිඬු සිඟා ගිහින් යාන්තම් පිරිමැහෙන්ට කැඳ ස්වල්පයක් ලැබෙනවා. මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය ආහාරවලින් පිරී තියෙනවා වගෙයි. මේ ලෝසක තෙරුන් උත්සාහයෙන් ධර්මයේ හැසිරුනා. උතුම් රහත් ඵලය සාක්ෂාත් කළා. තමන්ගේ ආයුෂ අවසන් වෙලා ක්‍රමයෙන් පිරිනිවන් පානා දවස පැමිණුනා.

එදා ලෝසක තෙරුන් පිරිනිවන් පානා බව අපගේ සාරිපුත්තයන් වහන්සේ දැනගත්තා.

“අහෝ! අද අපේ ලෝසක පිරිනිවන් පානවා…. අදවත් ඔහුට කුස පිරෙන්ට ආහාරයක් දෙන්ට වටිනවා…” කියලා එදා සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන් සමඟ පිඬු සිඟා වැඩියා. එදා සාරිපුත්තයන් වහන්සේට දානෙ තබා දෑත් දිගු කොට වන්දනා කරන්ටවත් සැවැත්නුවර කවුරුවත් ආවෙ නෑ. හැමෝම නොදැක්කා වගේ ගියා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන්ට විහාරයට ගොස් දාන ශාලාවේ වාඩිවෙලා ඉන්ට කිව්වා. තමන් වහන්සේ තනිවම වැඩිය ගමන් පිණ්ඩපාතෙ ලැබුණා. එතකොට සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ දානෙ වේල කෙනෙකු අත ලෝසක තෙරුන්ට දෙන්ට කියලා පිටත් කෙරෙව්වා. ඒක අතරමග දී ඔහු අනුභව කළා!

අපගේ සාරිපුත්තයන් වහන්සේ දන් වළඳා විහාරයට වැඩියා. ලෝසක තෙරුන් තවමත් දන්හලේ වැඩඉන්නවා. එතකොට ලෝසක තෙරුන් ඉක්මනට ඇවිත් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා.

“ඇවැත්නි…. දානෙ වැළඳුවා නේ ද?”

“ස්වාමීනී…. ඒ අපට ලැබුණොත්නෙ…” කිව්වා.

එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. ඉක්මනින් පියවර මැනලා කාලය බැලුවා. අයියෝ! කාලය ඉක්ම ගිහින්… “කමක් නෑ ඇවැත්නි… ඔහොම ම ශාලාවේ ඉන්ට” කියලා කෙළින් ම කොසොල් රජ්ජුරුවන්ගේ මාළිගාවට වැඩියා. රජ්ජුරුවෝ මහත් සතුටට පත්ව සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රය පුරවා චතුමධුර පූජා කළා.

සාරිපුත්තයන් වහන්සේ පාත්‍රය ඇතිව නැවත වැඩියා.

“තිස්ස… හරි… දැන් මේ චතුමධුර වළඳන්ට” කියා පාත්‍රය අතැතිව සිටගත්තා. තම ආචාර්යපාදයන් කෙරෙහි මහත් ගෞරවයෙන් ලෝසක තෙරුන් ලැජ්ජාවෙන් යුක්ත වුණා. වැළඳුවේ නෑ.

“නෑ තිස්ස…. මං මේ පාත්‍රය අතේ තියාගෙන මෙහෙම ඉන්නම්. ඔබ මෙතන වාඩිවෙලා මේ පාත්‍රයෙන් ගෙන වළඳන්ට. මං බැරිවෙලාවත් පාත්‍රය වෙන තැනකින් තිබ්බොත් කිසිවක් ඉතිරිවෙන එකක් නැහැ.”

එතකොට ලෝසක තෙරුන් ගුරුබසට අවනත වුණා. සෙමෙන් සෙමෙන් චතුමධුර වළඳන්ට පටන් ගත්තා. සාරිපුත්තයන් වහන්සේගේ ඉර්ධිබලය නිසා චතුමධුර අතුරුදහන් වුණේ නෑ. එදා ලෝසකතිස්ස තෙරණුවෝ කුස පිරෙන තාක් වැළඳුවා. එදා ම පිරිනිවන් පෑවා.

සියලු භික්ෂූන් වහන්සේලාට මෙය මහත් සංවේගදායක සිද්ධියක් වුණා. දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ලෝසකතිස්ස තෙරුන්ගේ අවාසනාවත්, අරහත් වෙන්ට ඇති වාසනාවත් ගැන කතාබස් කරමින් සිටියා. එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කොට වදාළා.

“මහණෙනි, ලෝසක පෙර ආත්මෙක රහත් භික්ෂුවකගේ ලාභයට අනතුරු කළා…. ඒ නිසා ලැබීම නැති වුණා. නමුත් ඒ ආත්මේ හොඳින් විදර්ශනාව පුරුදු කළා. ඒ නිසයි නිකෙලෙස් වන අයුරින් ප්‍රඥාව දියුණු ව තිබුණේ.”

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ලෝසක තෙරුන්ගේ පෙර ආත්මයේ කථාව කියා දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

පින්වත් මහණෙනි, අතීතයේ කාශ්‍යප තථාගතයන්ගේ කාලයේ ඒ සසුනේ පැවිදි වූ භික්ෂුවක් එක්තරා ගමක වාසය කළා. ඒ ගමේ ගම් ප්‍රධානියා මේ භික්ෂුවට කුටියක් කරවා දුන්නා. මොහුත් සිල්වත්ව විදර්ශනා භාවනාව පුරුදු කරමින් වාසය කළා. දවසක් එක රහත් තෙරනමක් එක් තැනක දිගට ම නොවසන නිසා අනුපිළිවෙළින් ඇවිත් අර ගම් ප්‍රධානියා ඉන්න ගමට පැමිණියා. තෙරුන් වහන්සේගේ ශාන්ත ඉරියව් දුටු ගම් ප්‍රධානියා බලවත් සේ පැහැදුනා. තම නිවසට වඩමවාගෙන දන්පැන් පූජා කළා.

“ස්වාමීනී… අපෙත් විහාරයක් තියෙනවා. එහෙ වඩින්ට. මං හවස් යාමයේ ඔබවහන්සේව බලන්ට එන්නම්…”

එතකොට තෙරුන් වහන්සේ ඒ විහාරයට වැඩම කොට එහි නේවාසික ව සිටි වැඩිමහලු තෙරුන්ට වන්දනා කළා.

“ආ… ඇවැත්නි… දානෙ කොහොමද අද…?”

“දානෙ වැළඳුවා ඇවැත්නි…”

“ඒ කොහෙන් ද…?”

“ඔබවහන්සේගේ මේ ගමේ ගම් ප්‍රධානියාගේ නිවසේ දී…”

නේවාසික තෙරුන් මේ ආගන්තුක තෙරුන්ට කුටියක් පිළියෙල කොට දුන්නා. ගම් ප්‍රධානියා හවස් වරුවේ සුවඳ මල්, තෙල් ආදිය ගෙන්වාගෙන තමන්ගේ විහාරයට ගියා. නේවාසික තෙරුන්ට වන්දනා කළා.

“ස්වාමීනී… එක් ආගන්තුක තෙරනමක් වැඩියා නේ ද?”

“එසේය උපාසක…”

“උන්නාන්සේ කොහේද ඉන්නේ…?”

“ආන්න අතන අර කුටියේ…”

එතකොට ඒ ප්‍රධාන දායකයා ඒ ආගන්තුක තෙරුන් බැහැදැක වන්දනා කොට එකත්පස්ව වාඩිවෙලා බණ ටිකකුත් ඇසුවා. පහුවදා දානෙට තම නිවසට වඩින්ට කියලා දෙනමටම ආරාධනා කළා. නේවාසික තෙරුන් මෙහෙම හිතුවා.

‘අපේ දායක උන්නැහේ මං ගැන අපැහැදිලාවත් ද…? මේ ආගන්තුක භික්ෂුව දිගට ම නැවතුනොත් මාව ගණන් නොගෙනම ඉඳීවි.’ කියලා තෙරුන් කෙරෙහි අමනාප වුණා. තෙරුන් වහන්සේට එතැනින් යන්ට කටයුතු සදන්ට ඕනෑ කියලා සිතා ගත්තා.

එදා ආගන්තුක තෙරුන් නේවාසික තෙරුන්ට වත් කළා. නමුත් වචනයක් කතා කළේ නෑ. තෙරුන් වහන්සේට මේ භික්ෂුව තමන් ඉන්නවාට අකමැති බව තේරුනා. එතකොට තෙරණුවෝ නිශ්ශබ්දව තමන්ගේ භාවනා කටයුතුවල යෙදුනා. පසුවදා නේවාසික භික්ෂුව සිය නියපිටින් ගෙඩියට තට්ටු කළා. නියපිටින් දොරට තට්ටු කළා. තමන් සිවුර පොරවාගෙන දායකයාගේ නිවසට ගියා.

“අනේ ස්වාමීනී…. අපේ ආගන්තුක තෙරුන් වැඩියේ නැත්තේ ඇයි…?”

“ඔබේ කුළුපග තෙරුන් ගැන විස්තර කියන්ට මං දන්නෙ නෑ. මං ගෙඩියත් ගැහුවා. දොරටත් තට්ටු කළා. කෝ… අවදි වුණේ නෑනේ… මං හිතන්නේ ඊයේ ඔබගේ නිවසේ ප්‍රණීත දානය වළඳා දිරවා ගන්ට බැරිව නින්දට වැටෙන්ට ඇති! බලන්ට… ඔබ පැහැදුනොත් පහදින්නේ ඔය වගේ අය ගැන නොවැ…”

ඔය අතරේ ආගන්තුක තෙරණුවෝ දානය වඩින්ට වෙලාව සලකා පාසිවුරු ගෙන අහසින් ම වෙනත් පළාතකට වැඩියා. එදා දායක පින්වතා ගිතෙල් මී සකුරු ආදියෙන් යුතු ප්‍රණීත කිරිබතින් නේවාසික භික්ෂුවට දානෙ පූජා කළා.

“අනේ ස්වාමීනී…. අපගේ ආගන්තුක තෙරුන්ට ගමන් වෙහෙස ඇති. ඒකයි සැතපෙන්ට ඇත්තේ. උන්වහන්සේට මේක දෙන්ට” කියලා ඉතා හොඳින් සුවඳවත් පසුම්බියක දාලා දානය සකසා නේවාසික තෙරුන්ගේ අතට දුන්නා. මොකවත් නොකියා තෙරුන් එය ගත්තා. අරගෙන යන ගමන් කල්පනා කළා. ‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට මතුවෙනවා. බිමක දාන්ටත් බෑ. කපුටො වටවෙනවා. එතකොට දැනගන්නවා. මං මේකට මොකදෑ කරන්නේ…?’ කියලා සිත සිතා යද්දී කුඹුරක ඇවිළෙන ගින්නක් දැක්කා. එතනට ගිහින් ඒ ගින්නේ අඟුරු මෑත් කරලා එතනට අත්හැරියා. ආයෙමත් අඟුරුවලින් වැහුවා. විහාරයට ගියා. ආගන්තුක භික්ෂුව ඉන්නවා ද කියලා බැලුවා. ඒ තෙරුන් වැඩලා. එතකොටයි නේවාසික භික්ෂුවට සිහි උපන්නේ. ‘අයියෝ! ඒ රහතන් වහන්සේනමක් නොවැ. මගේ අදහස් දැනගෙන වැඩලා වගේ… ආහාරයක් නිසයි මගේ අතින් උන්වහන්සේට මේ වැරැද්ද වුණේ…’ කියලා සිත් තැවුලක් හටගත්තා. එදා සිට ඒ භික්ෂුව අසනීප වුණා. ටික දවසකින් මිය ගිහින් නිරයේ උපන්නා.

නිරයේ අවුරුදු ලක්ෂ ගාණක් දුක්වින්දා. එතනින් චුතවෙලා එක දිගට ම පන්සිය වාරයක් යක්ෂ ආත්මයේ උපන්නා. එතෙක් කාලයක් කුසපුරා ආහාරයක් ලැබුණේ නෑ. එක ම දවසක් කුස පිරෙන්න ගැබ් මළක් ලැබුණා. ඊට පස්සේ එක දිගට පන්සිය වාරයක් බලු ආත්මයේ උපන්නා. ඒ පන්සිය ආත්මෙට ම එක දවසක් බඩ පිරෙන්ට වමනයක් ලැබුණා. එතනින් චුතවෙලා කසී රටේ ඉතා ම දිළිඳු ගමක දිළිඳු පවුලක පිරිමි ආත්මයක් ලැබුණා. එදා පටන් ඒ ගෙදරට කැඳ වතුරවත් නෑ. ඔහුට ‘මිත්තවින්දක’ යන නම ලැබුණා. මිත්තවින්දකගේ මව්පියන්ට මොහු උපන්දා සිට තියෙන බඩගින්න උහුලාගන්ට බැරිව මොහුව ගෙදරින් පැන්නුවා. කිසිවක් කරකියා ගන්ට බැරිව ඔහු ඇවිද ඇවිද බරණැසට ආවා.

ඒ කාලෙ මහාබෝධිසත්වයෝ බරණැස දිසාපාමොක් ආචාර්යයන් වෙලා සිටියේ. පන්සියයක් තරුණයන්ට ශිල්ප ඉගැන්නුවා. ඒ කාලෙ එතුමා බරණැස දිළිඳු ළමයින්ට නොමිලේ ශිල්ප උගන්නනවා. මේ මිත්තවින්දකත් බෝධිසත්වයන් ළඟට නොමිලේ උගන්වන පන්තියට බැඳුනා. නමුත් මොහු දුෂ්ටයි. අවවාදයක් අහන්නේ නෑ. අනිත් අයට පහර දෙනවා. බෝධිසත්වයන්ගේ අවවාදයවත් අහන්නේ නෑ. මොහුව ගත්තු දා පටන් බෝධිසත්වයන්ගේ ආදායම් මාර්ග වැහිලා ගියා. එතැනින් වෙනත් තරුණයන් සමඟ ආරවුල් හදාගෙන පළා ගියා. කාලෙකට පස්සේ මොහු තමන්ට සෑහෙන දිළිඳු ස්ත්‍රියක් සහේට ගත්තා. දරුවො දෙන්නෙකුත් ලැබුණා. ගමේ මිනිස්සු මිත්තවින්දකව පණිවිඩපණත් ගෙනියන්ට පත් කළා. එදා පටන් ඒ ගමට වගතුවක් නෑ. සත් වතාවක් ආණ්ඩුවෙන් දඩ ගැහැව්වා. සත් වතාවක් වැව බිඳුනා. මිත්තවින්දකයා නිසයි මෙහෙම වෙන්නේ කියලා ගමේ කතා වුණා. ගම්මු එකතු වෙලා ඔවුන්ව ගමෙන් පැන්නුවා.

කරකියා ගන්ට දෙයක් නැතුව මේ සතර දෙනා වනාන්තරයට ගියා. එතන දී දරුවන්වත්, බිරිඳවත් වනයේ ඉන්න අමනුෂ්‍යයන් මරාගෙන කෑවා. මිත්තවින්දක එතනිනුත් පළා ගියා.

මිත්තවින්දක මුහුදුබඩ වරායක් අසලට ආවා. වරායෙ කම්කරුවෙක් වුණා. නැව පිටත්වෙන දවසේ ඒ නැවට නැග්ගා. නැව දවස් හතක් මුහුදේ කරදරයක් නැතුව යාත්‍රා කළා. සත්වෙනි දවසේ මුහුද මැද නැවතුනා. ඔවුන් නැවේ පව්කාරයෙක් ඇති කියලා තුණ්ඩු දැම්මා. සත්වතාවෙ ම තුණ්ඩුව ලැබුණේ මිත්තවින්දකටයි. එතකොට නැවේ සිටිය මිනිස්සු ඔහුට උණපතුරු පහුරක් දීලා මුහුදට දැම්මා. එසැණින් ම නැව පිටත් වුණා.

මිත්තවින්දක උණපතුරු පහුරේ වැතිරී මුහුදේ පාවී සිටියා. ඒ වෙලාවේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදිව ආරක්ෂා කළ සීලයේ අනුසස් මතු වුණා. මුහුද මත පළිඟු විමානයක සිටි විමාන ප්‍රේතියක් මොහුව තමන් ළඟට කැඳවා ගත්තා. විමාන ප්‍රේතියත් සතියක් සැප විඳිනවා. සතියක් දුක් විඳිනවා. සැප විඳින සතියේ ඔහු ඈ ළඟ සිටියා. දුක් පටන් ගත්තු ගමන් මිත්තවින්දක එතැනින් ඉවත්ව ආයෙමත් පහුර දමාගෙන මුහුදේ ගියා. මේ විදිහට රන් විමානයක, රිදී විමානයක, මැණික් විමානයක සිටිය විමාන ප්‍රේතියන් එක්ක කල්ගත කළා. එතැනිනුත් ඉවත් වෙලා යද්දී මුහුද මැද යක්ෂයෙක්ගේ දූපතකට ගොඩබැස්සා. එහි එක් යක්ෂණියක් එළු දෙනකගේ වේශයෙන් සිටියා. මිත්තවින්දක මං එළු මස්වත් කන්ට ඕනෑ කියලා එළු දෙනගේ පයින් ඇද්දා. එතකොට යකින්නි මොහු උස්සා ඈතට වීසි කළා. මිත්තවින්දක වේගයෙන් මුහුදු දිය මතින් ගොස් බරණැස් පුර දිය අගල අයිනේ එක් කටු ලැහැබකට පෙරලී වැටුනා.

ඒ කාලෙ ඒ දිය අගල අයිනේ සැරිසරන රජ්ජුරුවන්ගේ එළු දෙන්නු හොරු පැහැරගන්නවා. එළු පාලකයෝ හොරු අල්ලන්ට පඳුරු අස්සේ සැඟවී උන්නා. මිත්තවින්දක වැටුනු තැනත් එළිච්චියක් හිටියා. මිත්තවින්දක මෙහෙම හිතුවා. ‘මං එකවතාවක එළිච්චියකගේ කකුලෙන් ඇදලා මෙතනට වීසි වෙලා ආවා. මේ එළිච්චියගේ කකුලෙන් ඇද්දොත් මං හිටිය මුහුද මැද විමාන දේවතාවිය ළඟට වීසි වෙලා යාවි’ කියලා එළිච්චියගේ කකුලෙන් ඇද්දා. එළිච්චිය ළතෝනි දුන්නා. එළු පාලකයෝ ඒ ශබ්දයට අනුව එතනට දුවගෙන ඇවිත් “මේන්න එළු හොරා අහු වුණා…” කියලා හොඳට ම ගහල තලල බැඳගෙන රජ්ජුරුවන් ළඟට අරගෙන ගියා.

ඒ වෙලාවේ බෝධිසත්වයෝ පන්සියයක් සිසුන් සමඟ නාන්ට යනවා. මිත්තවින්දක ව බැඳගෙන යනවා දැකලා හඳුනාගත්තා. එළු පාලකයන්ට කතා කළා.

“දරුවෙනි…. මේ මගේ ගෝලයෙක්… මොකද මෙයාව අරගෙන යන්නේ…?”

“ස්වාමී…. මේකා අපේ එළු දෙනකගේ කකුලෙන් ඇද්දා…. ඒකයි අල්ලාගත්තේ….”

“අනේ එහෙනම් මේකා ව අපට දාසයෙකුව කරලා දෙන්ට. අපි නිසා ජීවත් වෙන්නේ නැතෑ….”

ඉතින් ඔවුන් මිත්තවින්දක ව නිදහස් කළා.

“ඈ… මිත්තවින්දක… උඹ මෙතෙක් කල් කොහේද ගියේ…?” එතකොට ඔහු සියලු විස්තර කිව්වා. එය අසා සිටි බෝධිසත්වයෝ මේ ගාථාව කිව්වා.

“යමෙක් යහපත පතා කෙනෙකුට
කරයි නම් අවවාද දයාවෙන්
නමුත් එය ඔහු නොම අසයි නම්
එළු දෙනගේ පයින් ඇදපු
මිත්තක මෙන් ශෝක කරන්නේ”

කියලා අවවාද කළා.

“මහණෙනි, ඔය ලෝසකතිස්ස ඒ කස්සප බුද්ධ කාලෙන් පස්සේ මේ තාක් ම තුන් වේලයි කුස පිරෙන්ට අනුභව කරලා තියෙන්නේ. යක්ෂ ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට ගැබ් මළ කන්ට ලැබුණා. බලු ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට වමනයක් කන්ට ලැබුණා. පිරිනිවන් පානා දවසේ සාරිපුත්තයන්ගේ ආනුභාවය නිසා කුස පිරෙන්ට චතුමධුර ලැබුණා. මේ නිසා කිසි දිනෙක අනුන්ගේ ලාභයට අනතුරු කරන්ට හොඳ නෑ. මහණෙනි, ඒ කාලෙ මිත්තවින්දක වෙලා සිටියේ මේ ලෝසකතිස්ස. දිසාපාමොක් ආචාරීන් වෙලා සිටියේ මමයි.” කියලා මේ ජාතකය වදාළා.

👉සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

☸ධර්ම දානය පිණිස මිතුරන් අතර share කරන්න☸

                        🌹තෙරුවන් සරණයි 🌹

තාවකාලික කාමයන් යටපත් කරන්නේ කොහොමද?

භික්ෂූන් වන අපිට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සය ළඟ නවතින්න කියලා. ඒ නිසාම භික්‍ෂුවත් පස්සය ළඟ නැවතිලයි සිටින්නේ, ඒ නිසාම, පසළොස්වක සඳ එළියේ සුන්දරත්වය ගැන විතර්ක භික්ෂුව තුළ සකස් වෙන්නේ නැහැ. තව මොහොතකින්, මේ සුන්දර පසළොස්වක සඳ කළු වළාවකින් වැසී ගියොත්, පරිසරයේ සියලූම චමත්කාරයන් වෙනස්වෙලා යාවි. සුන්දර පසළොස්වක සඳ එළියේ වෙනස් වීම හෙවත් ආදීනව සංඥාව, දක්ෂයකුට පුළුවන්, ප‍්‍රහාන සංඥාව, විරාග සංඥාව, හරහා නිරෝධ සංඥාව දෙසටම ශක්තිමත් කොටගන්න.

පරිසරය තුළ මොනතරම් නම්, අවබෝධය ශක්තිමත් කොට දෙන විදර්ශනාමය කමටහන් තිබෙනවාද ඒ වගේමයි, පරිසරය තුළ මොනතරම් නම් සිත බැඳී යන, ආශ්වාදයක් තිබෙනවාද? පරිසරයේ ආශ්වාදය විදර්ශනාත්මක කමටහන් බවට පත්කොට දෙන්නේ, අපි තුළ සකස්කොටගත්, ඉන්ද්‍රිය සංවර ශීලයයි. ඉන්ද්‍රිය සංවරශීලය දුර්වල වුණ තැනදී මෙවැනි සුන්දර රාති‍්‍රයකදී අපි සොයන්නේ මත් වතුර, විනෝදය, කායික මානසික ආස්වාදයයි. එකම කැළය, එකම සඳ එළිය, එකම චමත්කාරය, තෘෂ්ණාව විසින් සංස්කාරත්, විදර්ශනාව විසින් සංස්කාර නිරෝධයත් මතුකොට දෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වළාකුළු මීදුම, දුහුවිල්ල සහ රාහු අසුරේද්‍රයාගේ බලපෑම් නිසා සඳ ආලෝකය නොදී අඳුරු වෙන්න පුළුවන්ය කියලා. මේ සුන්දර පසළොස්වක පොහොය සඳ මේ රාති‍්‍රයේ ආලෝකවත්ව බැබලූනත්, අනාගතයේ යම් දවසක පසළොස්වක පොහොය දින රාති‍්‍රයේ අඳුරේම ගිලී තිබෙන්න පුළුවන්. භික්ෂුව මේ ආදීනවය නුවනින් දකින්නේ, සුන්දර චමත්කාරජනක, පසළොස්වක සඳ එළියේ ආලෝකය ලබමින්මයි.

වයස අවුරුදු පනස්පහේ සීමාව පසුකොට පැවිදි උපසම්පදාව ලැබූ ස්වාමින් වහන්සේනමක්, භික්‍ෂුවට ප‍්‍රකාශ කරනවා, මගේ සිත හරිම චංචලයි, භාවනාවක් කිරීමට සිත නැමෙන්නේම නැහැ. සිත නිශ්චල කරගන්න මට තේරෙන්නේම නැහැ. මගේ සිත මගේ ගිහි ජීවිතයේ අනියම් බිරිඳ කෙරෙහි මනසින් ආශ්වාදයට බැඳෙනවාය කියලා. භික්ෂුව එම ස්වාමින් වහන්සේගෙන් විමසුවා, ගිහි ජීවිතයේ නිත්‍යානුකූල බිරිඳ කෙරෙහි, සිත විසිරෙන්නේ නැති ද කියලා උන්වහන්සේ කියනවා නැහැය කියලා, තද ස්වභාවයෙන් යුත් පඨවි ධාතුව, ආශ්වාදයෙන් ගත්ත තැනදී අකුසලයට අදාළ, සංස්කාර ගොන්නක, එම ස්වාමින් වහන්සේ පැටලිලා.

භික්ෂුව එම ස්වාමින් වහන්සේට අවවාද කළේ තද ස්වභාවයෙන් යුත් පඨවි ධාතුව, මෙලෙක් ස්වභාවයෙන් යුත් ආපෝ ධාතුව, උණුසුම් ස්වභාවයෙන් යුත් තේජෝ ධාතුව, පිම්බුන ස්වභාවයෙන් යුත් වායෝ ධාතුවේ, ආශ්වාදයට බැඳෙන්න එපා කියලා. පිංවත් ඔබ සතර මහා ධාතුව සතුටින්, සැපයක් කොට පිළිගත්තොත් ඔබ ඒ පිළිගන්නේ දුකක්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එම නිසා ඔබවහන්සේට අරමුණු වන කාන්තා රූපය, කායානුපස්සනාවෙන් දකින්න. එම කාන්තා රූපය මළ කදක්, අට්ඨික සංඥාවක්, දෙතිස් කුණපයක්, මුත‍්‍රා, අශුචි, සැරව, කළගෙඩියක් ලෙස දකින්නය කියලා. එවිට එම ස්වාමින් වහන්සේ භික්ෂුවගෙන් ඇසුවා සිතේ අනිත්‍යභාවය දැකලා සිත සන්සුන් කරගන්න බැරිද කියලා. රාගය වැඩෙන සිතක්, රාගය තුළ බැසගන්න සිතක්, චිත්තානුපස්සනාවෙන් පළමු පියවරේදීම, සංවරකර ගන්න ගියොත්, එය හරියට රබර් බෝලයක්, වතුරේ ඔබාගෙන ඉන්නවා වගේ වැඩක්, රබර් බෝලය අතහැරිය ගමන්, නැවත උඩට මතුවෙනවා. එම නිසා රාග සිතක්, සංවරකොට ගැනීමට මුල්වෙන්න ඕනේ, කායානුපස්සනාවයි කියලා එම ස්වාමින් වහන්සේට භික්ෂුව අවවාද කළා. රාගයෙන් බැඳී යන කාන්තා රූපය, කායානුපස්සනාවෙන් දැකීමේදී, සකස්වෙන විදර්ශනාවට අදාළ නොවන, ආශ්වාදයට අදාළ සිතුවිලි, චිත්තානුපස්සනාවෙන් දකින්න පිංවත් ඔබට පුළුවන්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වරක් භික්ෂූන් වහන්සේලාට අසුභ භාවනාව දේශනාකොට, සති දෙකක කාලයක් හුදකලාව, පිරිසෙන් වෙන්වී ගත කිරීමට විවේකී ආරාමයකට වඩිනවා, සති දෙක අවසන් කොට පෙරලා ගමට වැඩිය බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමින් වහන්සේ ප‍්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේගෙන් අසුභ භාවනාව ගැන කමටහන් ලබාගත් ස්වාමින් වහන්සේලා අන්තවාදී ලෙස අසුභ භාවනාව වැඞීම නිසා අන්තවාදී කලකිරීමක් ජීවිතය ගැන ඇතිකොටගෙන, දිවි නසාගත්තාය කියලා. මේ කනගාටුදායක සිද්ධියේ ඇත්ත දැනගත් බුදුරජාණන් වහන්සේ ඉතිරි ස්වාමින් වහන්සේලා රැස්කොට, අවවාද වශයෙන් දේශනා කළේ විතර්ක වැඩි, විදර්ශනාවේත් ආශ්වාදය සොයන, අධි වීර්ය පසුපස හඹාගෙන යන, ස්වාමින් වහන්සේලාට ආනාපානසති භාවනාව ප‍්‍රගුණ කරන්නය කියලා. ආනාපානසති භාවනාව තුළින් අපි ලබන තාවකාලික කාමයන්ගේ යටපත් කිරීම පිංවත් ඔබව ශක්තිමත් ආකාරයට කායානුපස්සනාවට යොමු කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර්ථවත්ව කෙලෙස්වලින් සැහැල්ලූ වූ ජීවිතයක් යනු අවිද්‍යාව නිරෝධය කළ පංචස්කන්ධයක ධර්මානුකූල ඵලයයි කියලා. වර්තමාන පින්වත් ගිහි සමාජය මොන තරම් සැහැල්ලූ දේවල් සොයනවාද, සැහැල්ලූ ආහාර සැහැල්ලූ ඇඳුම් පැළඳුම්, සැහැල්ලූ ව්‍යායාම, මේ සෑම සැහැල්ලූවක්ම අපි අත්විඳින්නේ අවිද්‍යාවෙන් පෝෂණය වූ පංචඋපාදානස්කන්ධයන් හැටියටමයි. කවදා ද අපි අවිද්‍යාව නිරෝධය වූ සුන්දරත්වයන්, අසුන්දරත්වයත්, දෙකින්ම මිදුනා වූ හේතුඵල ධර්මයක් වූ පංචස්කන්ධයක අවසාන ජීවිතය දරාගන්නේ.

බුදුරජාණන් වහන්සේගේ සැහැල්ලූව ගැන අපිට අවවාද කළත්, අපි සොයන්නේ බරක්මයි. අධ්‍යාපනය, විවාහය, දරු සම්පත්, වස්තුව, දේපළ, සමාජය ඇතෙක් බරට, බරමයි සොයන්නේ. ඊයේ උදෑසන භික්ෂුව, මුණගැසෙන්න පැමිණි. තරුණ මහත්මයෙක්, ටිකක් වෙනස් ප‍්‍රශ්නයක් ඇසුවා, එම තරුණ මහතාගේ ප‍්‍රශ්නය වුණේ තම පෙම්වතිය තමන්ට පිටුපාලා, වෙනත් තරුණයෙක් සමග හාදවෙලා. මට පිටුපෑව මගේ පෙම්වතිය අමතක කොට දමන්න, පෙම්වතිය කායානුපස්සනාවෙන් දකින්නේ කොහොමද කියලා.

තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, තමන්ව ප‍්‍රතික්‍ෂේප කළහම, පළිගන්න, හදන සමාජයක මේ තරුණ මහතා, පළිගැනීම ශෝකවීම, විනාශවීම, වෙනුවට, කායානුපස්සනාවෙන් තමා හැරගිය පෙම්වතිය දැකීමට පෙළඹීම, සතුටට කාරණයක්. මේ තරුණ මහතා ප‍්‍රකාශ කලා ‘දිවයින ඉරිදා’ සංග‍්‍රහයේ පළවෙන ලිපි පෙළ කියවලයි, පළිගැනීම වෙනුවට, කායානුපස්සනාව තෝරා ගැනීමට යොමුවුණේ කියලා.

අතීතයේ කාමච්ඡන්දයන්ගෙන් ප‍්‍රමාදභාවයට පත්වීම, නිසා තම රන් භාණ්ඩ සොරකම් කොටගෙන පළාගිය වෙසඟනක්, සොයමින් සිටි කුමාරවරු පිරිසකට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමාරවරුනි අනුන්ව සොයා ඇති ඵලය කුමක්ද, කරුණාකර ඔබ ඔබව සොයන්න කියලා. ඔබ ඔබව සොයන්න කියලා කියන්නේ ඔබ තුළ සකස්වෙන කාය, වේදනා, චිත්ත, ධම්ම, කියන ධර්මතාවයන් දෙස, සතියෙන් බලන්නය කියන කාරණයයි.

සිත විවේකයට හුඟාක් අකමැතියි, නිරතුරුවම සිත කැමති විතර්කවලට, පින්වත් ඔබ, සිතේ කාම විතර්කයන් හඳුනාගෙන, කාම විතර්කයන්ගෙන් බැහැර වුණොත් ඔන්න ද්වේශ විතර්කයන්, සිත ආක‍්‍රමණය කරනවා. ඇලීම්, ගැටීම් දෙක අතර සිත නිරතුරුව දෝලනය වෙනවා. පින්වත් ඔබ දක්ෂකම්, ඔබ තුළ සකස්වෙන ඇලෙන සිතක්, ගැටෙන සිතක්, අනිත්‍ය වූ හේතුඵල ධර්මයක්ය කියලා දකින්න ඒ මොහොතේ ඔබ සිටින්නේ උපේක්‍ෂාව තුළයි. මේ උපේක්‍ෂාවයි, අපි ආදරය කළත් අපි පළිගත්තත්, මේ ධර්මතාවයන් දෙකම, සතර සතිපට්ඨානය තුළින්, අනිත්‍ය වූ ධර්මතාවයන් බව තේරුම්කොට දෙන්නේ.

අපි තරුණ කාලයේදී අපි තුළ සකස් වුණ තරුණ සිතුවිලිවලට හරිම කැමතියි. ඒ සිතුවිලිවල බැසගෙනයි අපි ජීවත් වුණේ, හොඳ නරක, හරි වැරදි, ආශ්වාදයෙන් වැසිලයි තිබුණේ. තාරුණ්‍යයට පමණක් අදාළ ඉහත ධර්මතාවයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමයේ ආශ්වාදය, රූපයේ ආශ්වාදය කියලයි. නමුත් මේ තාරුණ්‍යයේ ආශ්වාදය කෙටිය කියන යථාර්ථය වැඩිහිටි අපි, හැමෝම දැන් අත්දැකීමෙන්ම දන්නවා. අපි තරුණ ජීවිතවලදී ලැබූ සෑම ආශ්වාදයක්ම හිස් දෙයක්මයි. පින්වත් වැඩිහිටි ඔබට පුළුවන් නම්, ඔබම අතීතයේ අත්විඳි, ඒ තාරුණ්‍යයේ ආශ්වාදයේ හිස්භාවය, අනිත්‍යභාවය, දකින්න අනිත්‍ය තාරුණ්‍යය කෙරෙහි තෘෂ්ණාව බැහැරකොට ගන්න, පින්වත් ඔබ නැවත කවදාකවත්, අනාගත තාරුණ්‍යයකට අදාළ පංචඋපාදානස්කන්ධයක් ප‍්‍රාර්ථනා කරන්නේ නැහැ. එය මනුෂ්‍ය ලෝකය කෙරෙහි උපාදානයෙන් බැහැර වෙන්න පින්වත් ඔබට හොඳ කමටහනක් වෙනවා.

අපි අන්ධභාවයට පත්වුණොත්, බිහිරිභාවයට පත්වුණොත් අපිට කවදාකවත් උතුම් භව නිරෝධය දෙසට ගමන් කරන්න බැහැ. පෙර මහා පිනකට අපිට ලැබුණ ඇස් දෙක, කන් දෙක, අපි ආරක්‍ෂා කොටගන්න දක්‍ෂ වෙන්න ඕනේ. වර්තමානයේ හොඳින් පෙනෙන ඇස් දෙකමයි අනාගත භව ගමනේදී අපිව, අන්ධභාවයන්ට පත්කරන්නේ, වර්තමානයේ හොඳින් ඇසෙන කන් දෙකක්මයි, අනාගත භව ගමනේදී අපිව බිහිරිභාවයන්ට පත්කරන්නේ. එම නිසා වර්තමානයේ අපි ඇසේ පස්සයෙන්, කනේ පස්සය හේතුවෙන්, අකුසල් රැස්කොට නොගන්න දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත් ඔබ, සිල්වත්ව ජීවත් වෙන ස්වාමින් වහන්සේලාව දැකලා ඇසුරු කරලා, උන්වහන්සේගෙන් යහපතක්, ඔබේ ජීවිතවලට ලබලා, උන්වහන්සේලාව ද්වේශයෙන් විවේචනය කරනවා නම් වර්තමානයේ උන්වහන්සේලාව දකින දෑස්, අනාගත භව ගමනේදී අන්ධභාවයන්ට පත්වෙන්න පුළුවන්. සංඝයා කියන ශාන්ත රූපයන් නැවත නොදකින්නම ධර්මානු ධර්ම ප‍්‍රතිපදාවේ නිවැරැදිව ගමන් කරන, ස්වාමින් වහන්සේලාගෙන්, විදර්ශනාවට අදාළව උතුම් සද්ධර්මය ශ‍්‍රවණය කරලා, මහා සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයේ ආශ්චර්ය ජීවිතවලට ලබලා, අපි බොරුවෙන් එවැනි ස්වාමින් වහන්සේලාගේ ධර්මය විවේචනය කරනවා නම්, වර්තමානයේ හොඳින් සද්ධර්මය ශ‍්‍රවණය කරන කන් දෙක, අනාගත භව ගමනේ සද්ධර්මයක් ශ‍්‍රවණය කරන්න බැරිවෙන්නට, බිහිරි වෙන්න පුළුවන්. දෑස් අන්ධ වුණා කියන්නේ කන් බිහිරි වුණා කියන්නේ, මුළු නිවන් මාර්ගයම, අපිට අහිමි වුණා කියන කාරණයයි.

වර්තමානයේ පින්වත් ඔබ, විදර්ශනාමය සද්ධර්මය ශ‍්‍රවණය කරලා ගෞරවණීය ස්වාමින් වහන්සේලාව, ඇසෙන් දැකලා, උන්වහන්සේලාව බොරුවෙන්, ද්වේශයෙන්, විවේචනය කිරීමේ අකුසල්, අනාගත භව ගමනේ අන්ධ, බිහිරි, ගොළුභාවයන්ට අපිව පටිච්චසමුප්පන්නව පත්කොට, තෙරුවන් සරණ අපිට අහිමි කර දමන්න පුළුවන්. ආශ්වාදය මුල්කොටගෙන, ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වතුන්ලා අතින් ඉහත අනතුරු වෙන්න තිබෙන අවස්ථා හුඟාක් වැඩියි. වර්තමානයේ පින්වත් ගිහි පින්වතුන්ලා මහා සංඝරත්නය කියන පොදු අර්ථයෙන් බැහැරට ගොස් ගෞරවණීය ස්වාමින් වහන්සේලාව තම තමන්ගේ පෞද්ගලික මතවාදයන්ට අදාළව, වෙන්, වෙන්ව, අයිතිකොටගෙන සිටින නිසා ස්වාමින් වහන්සේලාව මමත්වයේ දැඩිභාවයෙන් පරිහරණය කරන නිසා එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශවයන්ට කෙරෙන සැකකිරීම් විවේචනයන් වැඩියි.
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි

සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org

ගිහි ජීවිතය ගෙවන අයත් පැවිදි ජීවිතය ගෙවන අයත් ඒ හැම දෙනාම සිල්වත් විය යුතුයි..

පින්වතුනි.

ගිහි ජීවිතය ගෙවන අයත් පැවිදි ජීවිතය ගෙවන අයත් ඒ හැම දෙනාම සිල්වත් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් සසර දුකින් එතෙර වන්නට උපකාරී වෙන ඒ සීලය වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ පැහැදිලිව. ගිහි පින්වතුන් හැමදාම පන්සිල් ආරක්ෂා කළ යුතුයි. පොහොය දිනයේ අටසිල් ආරක්ෂා කළ යුතුයි සසර දුකින් මිදීමට කැමති කෙනා විසින්. එතකොට දැන් කියලා දෙන්නේ පන්සිල් රැකීමේ ආනිසංස ගැනයි. ඒ ආනිසංස දැන ගන්න විට සිල් රකින්න කැමැත්තක් ඇති වෙනවා.

ඔන්න ඈත අතීතයේ චන්ද්‍රවති කියන නගරයේ අනුන්ගේ බැල මෙහෙවර කරන දුප්පත් මනුස්සයෙක් හිටියා. ඉතින් එයා දවසක් කල්පනා කළා මෙහෙම. මං මේ අනුන්ගේ බැල මෙහෙවර කරන කෙනෙක්. මට පැවිදි වෙන්න විදියකුත් නෑ. මේ මෝහාන්ධකාරයෙන් වැහිච්ච ලෝකයේ සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවෙනවා. අනේ මං කොහොමද මේ දුකින් ගැලවෙන්නේ. මට දන් දෙන්න තරම් ධනයක් ඇත්තෙත් නෑ. ඒ නිසා මම පන්සිල් සම්පූර්ණ කරගත්තා නම් හොඳයි කියලා.

ඒ කාලේ අනෝමදස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලය. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ සිටියා නිසභ කියලා. ඉතින් මං උන්වහන්සේ ළඟට ගිහින් පන්සිල් සමාදන් වුණා. ඒ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයක් ඉතින් එච්චර කාලයක් ඒ පන්සිල් හොඳට ආරක්ෂා කර ගත්තා.

දැන් මං මැරෙන වෙලාව ඇවිත්. දෙවියෝ ඇවිත් කියනවා ” නිදුකාණනි මේ දහසක් අසුන් යෙදු දිව්‍ය රථය ඔබ වෙනුවෙන් තමයි මේ ගෙනාවේ කියලා. ඉතින් මැරෙන වෙලාවට මං මගේ සීලය සිහි කර ගත්තා. මං හොඳින් සිල් රැකපු කෙනෙක් නිසා තව්තිසා දෙව්ලොව ගිහින් ඉපදුණා. තිස් වතාවක් ශක්‍රදේවේන්ද්‍රයා වෙලා දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දෙව් සැප වින්දා. හැත්තෑ පස් වතාවක් මනු ලොව සක්විති රජ වුණා. ඔය එක එක රටවල් වල රජ කම ලැබුණු වාර ගණන කියන්න බැහැ එච්චරකට ලැබුවා.

ඉතින් ඊට පස්සේ දෙව් ලොවින් චුත වෙලා විශාලා මහනුවර අතිශයින්ම ආඪ්‍ය මහාසාර කුලයක ඉපදුණා. ඔන්න දැන් ගෞතම බුද්ධ ශාසනය බබලන කාලය. වස් කාලයේදී මගේ මව්පියන් පන්සිල් සමාදන් වුණා. ඒ සිල් පද කියනකොට මට ඇහුනා. ඒ සමගම මං සංසාරේ පෙර ආරක්ෂා කළ සීලය මතක් වුණා. එතැනදී ම මගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා උතුම් අරහත්වයට පත් වුණා. එතකොට මගේ වයස අවුරුදු පහයි. ඒ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ ගුණ දැනගෙන මාව උපසම්පදා කළා.

ඉතින් මං ඒ පන්සිල් ආරක්ෂා කිරීමේ පින කළේ මීට අපරිමේය කල්ප ගණනකට පෙර. එදා සිට මේ දක්වා අපායේ ගියේ නැහැ. ඒ පන්සිල් ආරක්ෂා කිරීම නිසා මම සසරේ බොහෝ සැප සම්පත් වින්දා. කල්ප කෝටියක් තිස්සේ ඒ සැප ගැන කීවත් කියලා අවසන් කරන්න බෑ.

ඒ පන්සිල් රැකපු පිනෙන් මට විශේෂ ආනිසංස තුනක් ලැබුණා. ඒ තමයි

  1. මං සංසාරේ දී දීර්ඝායුෂ ලැබුවා.
  2. මහා භෝග සම්පත් ලැබුවා.
  3. තියුණු ප්‍රඥාව ලැබුවා.

සියලු දෙනාටම තමන්ගේ දක්ෂකම් කියන්නා වගේ සංසාරේ සැරිසරලා අද මං මේ තත්වයට පත් වෙලා ඉන්නේ.

( පංච සීලයට මෙහෙම නම්)ඉතින් අප්‍රමාණ වූ සීලයක් රකින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් භවයේ හිටියොත් කොහොම ආනිසංස ලැබෙයිද.

ඈත අතීතයේ අනුන්ගේ බැල මෙහෙවර කර කර හිටිය මං පන්සිල් හොඳින් ආරක්ෂා කර ගත්තා. ඉතින් ඒ සීලය හේතු කරගෙන අද මං සියලු භව බන්ධන වලින් නිදහස් වුණා. සිව් පිළිසිඹියා අෂ්ට විමෝක්ෂ ෂඩ් අභිඥා උපදවා බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

පින්වතුනි මේ විදියට තමන්ගේ ඒ පෙර පින් බලය ගැන සඳහන් කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් නිකෙලෙස් පුත් රුවනක් වූ ” පඤ්චසීල සමාදානිය” මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමන්ට සසර දුකින් එතෙර වන්නට උපකාරී වූ පෙර කළ පින් ගැන සොයා බලන විට අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කළ ඒ පින්කම දැක්කා.

ඉතින් බලන්න අපි යම් කිසි පින්කමක් කරනකොට ඒක හරියට කරන්න ඕන. ඕනෑවට එපාවට කරලා හරියන්නේ නෑ. ඒ වගේම බලන්න සීලයේ ආනිසංස කොච්චරද කියල. සංසාරේ අපායෙන් මිදිලා අනන්ත දෙව් මිනිස් සැප සම්පත් විඳලා නිවන් දකින්න තරම් ශක්තිමත් වුණු හැටි.

ඉතින් ඔබටත් මේ ජීවිතේ පිරිසිදු සීලයෙන් යුතුව නිවන් මග ඉදිරියට යන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.

https://pitaka.lk/main?n=46124

(අ:පා: ඇසුරින්)

ඛදිරංගාර ජාතකය

🌹040.ඛදිරංගාර ජාතකය

☸මාරයා මැවූ කිහිරි ගිණිඅඟුරු ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින් කරන්ට යන කෙනෙකුට වුනත්, පින්කමකට වුනත් බොහෝ බාධා, කරදර, හිරිහැර, නින්දා, අපහාස විඳින්ට වන අවස්ථා අපට දකින්ට ලැබෙනවා. මේ ස්වභාවය අද විතරක් නොවේ. ඉස්සරත් තිබුනා. දැන් කියැවෙන්නේ එබඳු කතාවක්.

ඒ කාලේ අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනයේ. අනේපිඬු සිටුතුමා ජේතවන විහාරය සකස් කරන්ට රන් කහවණු පනස්හතර කෝටියක් වියදම් කළා. දවසට තුන්වරක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස ගියා. අසරණයන් ගේ යහපත වෙනුවෙන් බොහෝ වියපැහැදම් කළා. අනේපිඬු සිටුතුමාගේ මාළිගයේ දිනපතා භික්ෂූන් වහන්සේලා පන්සිය නමකට දානෙ පූජා කෙරෙනවා. ඔහුගේ මාළිගය මහල් සතකින් යුක්තයි. මේ මහා ප්‍රාසාදයේ සතරවන මහලේ එක්තරා දෙව්දුවකගේ විමානයක් තිබුනා. ඒ දේවතාවී මිථ්‍යාදෘෂ්ටිකයි. ඇයට නිතර නිතර සිත්තැවුල් ඇතිවෙන දෙයක් ඒ මාළිගයේ සිදුවුනා.

නිතරම පාහේ භාග්‍යවතුන් වහන්සේ ඒ මාළිගයට වඩිනවා. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවා. වෙනත් මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා වඩිනවා. ඒ හැම අවස්ථාවේදීම ඒ දෙව්දුවට ඒ විමානෙන් බිමට බහින්ට සිද්ධ වෙනවා. ඈ ඇගේ පිරිවරත් සමග නිතර නිතර විමානෙන් බිමට බහින නිසා භාග්‍යවතුන් වහන්සේ ගැනත් ශ්‍රාවක සංඝයා ගැනත් මහත් අමනාපයකින් වාසය කළා. ඈ මෙහෙම කල්පනා කළා.

“මේ නිවසට ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් තමන්ගේ ශ්‍රාවකයොත් පිවිසෙන තාක් මට සැපයක් නම් නෑ. මට හැමදාම මුන්දැලා එන එන වෙලාවට බිමට බහින්ට බෑ. මුන්දැලා මේ නිවසට වැද්ද නොදෙන්ට මොකක් හරි කරන්ට ඕනෑ.

ඉතින් ඈ දවසක් සිටුතුමාගේ ඉදිකිරීම් කටයුතු කරන ප්‍රධානියා නිදාගෙන සිටිද්දී මහත් ආලෝකයක් මවාගෙන පෙනී සිටියා. එතකොට ඔහු වහා අවදිවුනා. “කව්ද මේ දෙව්දූ?”

“මං මේ මාළිගාවේ සිව්වැනි මහලේ දිව්‍ය විමානයේ ඉන්න දෙව්දුව”

“ඔබතුමී ඇයි දැන් මේ පෙනී සිටියේ?”

“තොප ගේ සිටුවරයා ගේ කල්කිරියාව පෙනෙන්නේ නැද්ද? ශ්‍රමණ ගෞතමයන්ගේ පාමුල හැම සතේ ම පූජා කෙරෙනවා. අවසාන කාලේ තමන්ට යන කලදසාව ගැන ටිකක් සිතන්ට බැරිද? දැන් කිසි වෙළඳාමක් නෑ. ව්‍යාපාරයක් නෑ. කර්මාන්තයක් නෑ. තොපවත් සිටුතුමාට මේ ගැන කියන්ට. දැන් වත් ශ්‍රාවකයන් සහිත ශ්‍රමණ ගෞතමයන්ට මේ සිටුමැදුරට එන එක වළක්වන්ට කියලා”

“එම්බා මෝඩ දේවතාවී…. සිටුතුමා ධනය වියදම් කලේ නෛර්යාණික බුදු සසුනට යි. ඉදින් ඔහු පුළුවන් නම් මගේ පසුම්බියත් ශාසනේට වියදම් කරාවි…. වහාම යන්න මෙතැනින්…” කියලා දෙව්දුව එළවා ගත්තා. ඈ තව දවසක සිටුතුමාගේ ලොකු පුතා ඉදිරියේ පෙනී සිට ඔය විදිහට කියාගෙන ගියා. ඒ වතාවෙත් ඈව එළවා ගත්තා. ඊටපස්සේ ඈ සිටුතුමාට ම කෙලින් කථා කරන්ට අවස්ථාවක් එනකල් බලාපොරොත්තුව සිටියා.

සිටුතුමා තමන්ගේ ව්‍යාපාර කටයුතු ගැන වැඩි අවධානයක් නොකළ නිසා ටිකෙන් ටික ආදායම් අඩුවෙලා ගියා. දහඅට කෝටියක් ණය ගත්තු ණයකාරයෝ ණය නොදී හැරියා. අචිරවතී ගංතෙර නිධන්ගත කළ දහඅට කෝටියක වස්තුව ගංවතුරට ගසාගෙන ගියා. නමුත් සිටුතුමා දානෙ දීම නැවැත්තුවේ නෑ. අන්තිමේදී ඇඹුල් කැඳයි බතුයි තමයි දානෙට දෙන්ට සිදුවුනේ. නමුත් සිටුතුමා කිසි කම්පාවක් නැතිව සතුටින් යුක්තව පින්දහම් කරගෙන ගියා.

දැන් දෙව්දුව මෙහෙම සිතුවා. “සිටුතුමා ඉසුරුමත් කාලේ මගේ වචනය අසන එකක් නෑ. දැන් දිළිඳුයි නොවැ. දැන් මගේ වචනය පිළිගනීවි” කියලා මධ්‍යම රාත්‍රියේ සිටුතුමාගේ යහන් ගැබ ඒකාලෝක කරගෙන පෙනී හිටියා. සිටුතුමා අවදි වුනා. “කවුද මේ දේවතාවී?”

“මහා සිටුවරය…. මං තොපගේ මාළිගයේ සිව්වැනි මහලේ ඇති දෙව් විමනේ ඉන්නා දෙවඟනයි”

“ඇයි මෙතුමිය දැන් පෙනී සිටියේ?”

“තොපට අවවාදයක් කරන්ට කැමතියි”

“හොඳයි…. කියන්ට”

“මහා සිටුවරය… ඔබට මෙහෙම වේවි කියලා සිතුවේ නෑ නේද? මා නම් බොහෝම කල් දැනගෙන සිටියා. අවසාන කාලයේ ඔබ තවත් අසරණ වෙනවා. ඔබ සියලු කටයුතු අත්හැර ශ්‍රමණ ගෞතමයන් පස්සේම ගියා. මොකක්ද ඔබට වුනේ? ඔබ දිළින්දෙක් වුනා. එච්චරයි! දැන්වත් ශ්‍රාවකයන් සහිත ශ්‍රමණ ගෞතමයන්ව මේ නිවසට පැමිණීම වළක්වන්ට”

“එතකොට මෙතුමිය මට දෙන අවවාදය ඕක ද?” “එසේය සිටුවරය” “එම්බල දුස්සීල කෙල්ල, තී පමණක් නොවේ. තී වැනි ලක්ෂයක් ඇවිත් කීවත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ ඇති ප්‍රසාදය නැති කරන්ට පුළුවන් කියලද හිතන්නේ? අරේ… දාසී…. අද පටන් තොපට මාගේ නිවසේ විමානයක් නැත. වහාම මෙතැනින් නික්ම යනු”

සෝවාන් ඵලයට පත් ආර්ය ශ්‍රාවකයෙකු වූ අනේපිඬු සිටුතුමාගේ වචනය අසා ඇය කිසිවක් කර කියා ගත නොහැකිව තම පිරිවරත් සමග මාළිගයෙන් නික්මුනා. ඇයට සැවැත් නුවර කොහේවත් විමානයක් ලැබුනේ නෑ. ඈ නැවත සිටුතුමාගෙන් සමාව ගන්ට ඕනෑ කියලා නගරාරක්ෂක දිව්‍යපුත්‍රයා මුණගැසී කියා හිටියා. නගරාරක්ෂක දෙවියන්ට එය කළ නොහැකි බවත් සතරවරම් දෙව්මහරජවරු මුණ ගැසෙන ලෙසත් කියා සිටියා. ඉතින් ඈ සතරවරම් දෙව්මහරජවරුන් මුණ ගැසුනා. එතැනින් ඵලක් වුනෙත් නෑ. සක්දෙවිඳු මුණ ගැසෙන ලෙස කියා සිටියා. ඈ ඉතාමත් වෙහෙස ගෙන සක් දෙවිඳුන් මුණ ගැසුනා. සක්දෙවිඳු ඈට බොහෝ අවවාද කළා. එයට දඬුවම් පිණිස සිටුතුමාගේ සියලු ණය ආපසු ලබාදෙන්ට කටයුතු කරන ලෙසත් ගංවතුරෙන් මුහුදට ගසාගෙන ගිය වස්තුව රැගෙන එන ලෙසත් අවවාද කළා. ඈ ඒ සියලු දේ ම කොට අනේපිඬු සිටුතුමාගෙන් සමාව ගත්තා.

දවසක් අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදැක මේ සියලු ප්‍රවෘත්තිය කියා සිටියා. “ස්වාමීනී…. ඒ දෙව්දුව සිතා සිටියේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා තුළ ඇති ප්‍රසාදය නැති කරන්ට පුළුවන් කියලා. අන්තිමේදී ඈ මයි අමාරුවේ වැටුනේ”

“ගෘහපතිය, ඔබ සෝවාන් වූ අචල ශ්‍රද්ධාවට පැමිණි ශ්‍රාවකයෙක්. ඒ නිසා ඔබේ ශ්‍රද්ධාවට හානි නොවීම ආශ්චර්යයක් නොවෙයි. නමුත් ඉස්සර කාලේ නුවණැති අය පවා නොමේරූ ඤාණයකින් යුක්තව දානයකට සූදානම් වූ අවස්ථාවේ මාරයා අහසේ පෙනී සිටියා. “තෝ දානෙ දුන්නොත් බලාගෙනයි. මේ අසූ රියනක් ගැඹුරු මහා දරුණු ගිනි අඟුරු නිරයේ දමනවා” කියලා ඔහුට තර්ජනය කළා. නමුත් ඔහු ඒ සියලු අභියෝග මැද පියුම් කෙමියක් මැද සිට දානෙ දුන්නා. ඒක නොවැ ආශ්චර්යය”

එතකොට අනේපිඬු සිටුතුමා ඒ යටගිය අතීතයට අයත් ඒ අසිරිමත් සිදුවීම කියාදෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“ගෘහපතිය, ගොඩාක් ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ මහ බෝධිසත්වයෝ බරණැස සිටුපවුලේ පුත්‍රයෙක් වෙලා උපන්නා. ඉතාම සුවසේ වැඩුනා. සිය පියාගේ ඇවෑමෙන් සිටු තනතුරු ලැබුනා. බෝසත් සිටුවරයා නගරයෝ දොරටු සතරේ දන්සැල් සතරක් කෙරෙව්වා. නගර මධ්‍යයෙහි එක දන්සැලක් කෙරෙව්වා. තමන්ගේ සිටුමැදුර ඉදිරියේ තව දන්සැලක් කෙරෙව්වා. මේ විදිහට දන්සැල් හයක් කරවා මහා දන් දෙන්ට පටන් ගත්තා. සිල් ආරක්ෂා කළා.

දවසක් උදෑසන ආහාර වේලාවේ බෝධිසත්වයන්ට නා නා රසයෙන් යුක්ත මධුර රසැති බොජුනක් රැගෙන ආවා. ඒ අවස්ථාවේ සත් දවසක් නිරෝධ සමාපත්තියෙන් සිටි එක්තරා පසේ බුදුවරයන් වහන්සේ නමක් බරණැස් සිටුතුමාගේ සිටු මාළිගය ඉදිරියට වැඩම කළා. බෝධිසත්වයෝ උන්වහන්සේව දැකලා ආසනයෙන් නැගිට ආදර ගෞරව දක්වා දාසයා දෙස බැලුවා. ‘ස්වාමී… මොකක්ද කරන්ට ඕනෑ?’ “අපේ ආර්යයන් වහන්සේගේ පාත්‍රය අරගෙන එන්ට” එකෙණෙහි ම පවිටු මාරයා මෙහෙම කල්පනා කළා. “අයියෝ…. මේ පසේබුදුවරයාට සත් දවසකට පස්සේ ආහාරයක් ලැබෙන්ටයි යන්නේ. නොලැබුනොත් මොහු නැසී යනවා. ඒ නිසා මොහු විනාස කරන්ට ම යි ඕනෑ. මේ සිටුවරයා දානෙ දීම වළක්වන්ට ඕනෑ” කියලා පසේබුදුනුත් සිටුමැදුරත් අතර අසූ රියනක් ගැඹුරැති මහා බිහිසුණු අඟුරු වලක් මැව්වා. අවීචි මහා නිරය වගේ උඩට ගිනි දැල් විහිදෙමින් තද රතු පාට කිහිර අඟුරු පෙනෙන්ට වුනා. පාත්‍රය පූජා කරන්ට ගිය පුරුෂයා එය දැක මහත් භයකට පත්වුනා. හැරිලා දුවගෙන ආවා.

“ඇයි දරුව මොකෝ නැවතුනේ?” “අනේ ස්වාමී… මේ බලන්ට… මහා භයානක ගිනි අඟුරු වලක් මැවිලා. එතැනට එන එන හැමෝම භය වෙලා පලා ගියා. එතකොට බෝධිසත්වයෝ මෙහෙම හිතුවා. “එකත්එකට ම මේක නම් මාරයාගේ වැඩක් වෙන්ට ඕනෑ. මාගේ දානය වළක්වන්ටයි මේක කරන්ට ඇත්තේ. මාරයන් සියයක් ආවත් දහසක් ආවත් මාව කම්පා කරවන්ට බැරිබව දන්නෙ නැතිව ඇති. මාරයාගේ ආනුභාවය ද මගේ ආනුභාවය ද මහත් කියලා අද බලාගම්මු” දානෙ පුරවාගත් පාත්‍රය තමන්ම අතට ගත්තා. ගෙයින් එළියට ඇවිත් ගිනි අඟුරු ඉවුරට ආවා. අහස බැලුවා. අහසේ කවුදෝ ඉන්නවා දැක්කා. ‘කව්ද ඔබ?’ ‘හහ් හා…. මමයි මාරයා. තොපගේ දානය වළක්වන්ටයි, පසේබුදුන් ගේ ජීවිතය නසන්ටයි මං ආවේ’

“මාරය… තොපට මගේ දානය වළක්වන්ට දෙන්නේ නෑ. පසේ බුදුන් ගේ ජීවිතයට අනතුරක් කරන්ට දෙන්නෙත් නෑ” කියලා ගිනි අඟුරු ඉවුරේ සිට මෙහෙම කිව්වා. “ස්වාමීනී, උතුම් පසේබුදුවරයන් වහන්ස, මං මේ ගිනි අඟුරු වලට උඩුකුරුව වැටුනත් කමක් නෑ. මං මේ පූජා කරන දානය පිළිගන්නා සේක්වා!” කියලා මේ ගාථාව පැවසුවා.

“ඒකාන්තයෙන් මේ ගිනි අඟුරු නිරයට
වැටුනත් මා උඩුකුරු අතට
දානය නොලැබෙන්ට ඉඩ නොතියමි
පිළිගනු මැන මගේ දානය”

කියලා බෝධිසත්වයෝ දැඩි අධිෂ්ඨානයකින් යුක්තව දානෙ පාත්‍රය අතට ගෙන ගිනි අඟුරු වල මතට පැන්නා. එසැණින් අසූරියන් ගැඹුරු ඒ නිරා වලෙන් මහා පියුමක් උඩට මතුවෙලා බෝධිසත්වයන්ගේ දෙපා පිළිගත්තා. ඒ මහා පියුමින් මල් රේණු මතුවෙලා බෝසතුන්ගේ සිරුරු ප්‍රමාණයට උඩට ඇවිත් මුදුන් රැකවල් දුන්නා. ඒ පියුම් කෙමිය මත සිට පසේබුදුන් අතට පාත්‍රය පූජා කළා. පසේබුදුවරයන් වහන්සේ පාත්‍රය අහසට දමා මහජනයා බලා සිටියදීම වළාගැබ මැදින් හිමව් පියසට වැඩියා. මාරයා දොම්නසට පත්ව නොපෙනී ගියා.

ගෘහපතිය, එදා මාර බලය මැඩගෙන පියුම් කෙමිය මත සිට ගෙන පසේ බුදුවරයන් වහන්සේට පිණ්ඩපාත දානය දුන් බරණැස් සිටුවරයා වෙලා සිටියේ මම යි” කියා මේ ජාතකය වදාළා.

👉සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

☸ධර්ම දානය පිණිස මිතුරන් අතර share කරන්න☸

                        🌹තෙරුවන් සරණයි 🌹

ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්‌ද?

මේ වස්‌සාන කාලය. වස්‌ තුන්මාසයෙන් හරි අඩක්‌ම ගෙවිලා ගිහිල්ලා. වේලාව පෙරවරු 10.30ට විතර ඇති. පරිසරයම අඳුරු කරලා. වැසි වැටෙනවා. කුටිය ඇතුළ හොඳටෝම සීතලයි. කළුවර මැකෙන්න කුටියේ ඉටිපන්දමක්‌ පත්තුකරලයි පිංවත් ඔබට මේ සටහන ලියන්නේ.

මේ දවස්‌වල ගම්මානයේ ගොවි මහත්වරු තම කුඹුරුවල බෝංචි වගා කරලා. පරිසරයේ වියළි කාලගුණය නැවතිලා. වැටෙන මේ වැස්‌ස ගොවි මහත්වරුන්ගේ බලාපොරොත්තු ශක්‌තිමත් කරනවා.

නමුත් බලාපොරොත්තු නැති හිස්‌ ජීවිතයක්‌ භික්‍ෂුව ඉදිරියේ තිබෙනවා. ඒ හිස්‌බව තුළ අපරාජිතභාවයකුත් තිබෙනවා. ඒත් එය භාහිර සමාජයට ප්‍රකට නැහැ. සමහර ගිහිපිංවතුන්ලා, සමහර ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා භික්‍ෂුවට ඇවිත් කියනවා ‘දායකයන් ආශ්‍රය කරන්න යන්න එපා. දායකයන්ගෙන් ඈත් වෙන්න. නගරයට යන්න එපා, කැලයේම වැඩ සිටින්න. ධර්ම දේශනා කරන්න යන්න එපා, දන්න දෙය වුව සඟවාගෙන සිටීම නුවණට හුරුයි’ කියලා. අවංකවම ඒ අයට බයයි මේ භික්‍ෂුවත් ඉහත දේවල් වලට ගිහිල්ලා පිරිහිලා යයි කියලා. සශ්‍රික ගිහි දායක ඇසුරට වැටිලා පිරිහිලා යයි කියලා. ලැබෙන සිව්පසයට මංමුලා වෙලා වල්මත්වෙයි කියලා. ලැබෙන ප්‍රතිචාරයන්ට මත්වෙලා විකෘතියක්‌ වෙයි…. කියලා.

ඊයේ කුටියට භික්‍ෂුව මුණගැසෙන්න තරුණ ස්‌වාමීන්වහන්සේනමක්‌ පැමිණියා. උන්වහන්සේ භික්‍ෂුවට ප්‍රකාශ කළේ ‘ඔබ වහන්සේ දැන් ප්‍රසිද්ධයි’ කියලා. එහෙම කියලා උන්වහන්සේ සිනාසුනා. ඒ සිනහව තුළ යම් යම් අර්ථයන් භික්‍ෂුව දැක්‌කා. එයින් ගම්‍ය වුණේ ‘ඔබත් ප්‍රසිද්ධිය නිසා විනාශයට යනවා’ කියන අර්ථයයි.

භික්‍ෂුව මේ සටහනේ මුල සඳහන් කළා භික්‍ෂුවට තිබෙන්නේ බලාපොරොත්තුවලින් හිස්‌වූ අපරාජිත ජීවිතයක්‌ය කියලා. අපි මේ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරලා, ජීවිතය බලාපොරොත්තුවලින් හිස්‌ කළාට පස්‌සේ, නැවත ජීවිතයට පුරවාගැනීමක්‌ සිද්ධවෙන්නේ නැහැ. ඒ නිසයි භික්‍ෂුව අපරාජිතභාවය කියන වචනය පාවිච්චි කළේ.

භික්‍ෂුවක්‌ උතුම් නිවන් මාර්ගයේදී අපරාජිතභාවය ලබන්නේ දිනුමත්, පැරදුමත් දෙකම පරාජයකොට දමලා. කඳුලත්, සිනහවත්, උපේක්‍ෂාවත් තුනම පරාජයකොට දමලා. මෙතැනට තමයි ලෝකෝත්තර සම්මා සතිය කියලා කියන්නේ. මේ සම්මා සතිය තුළ සකස්‌කොටගත් අපරාජිතභාවය නිරතුරුවම පාර පෙන්වන්නේ ලෝකය ඉදිරියේ පළවෙනියෙක්‌ වෙන්න ලෝකය ඉදිරියේ වීරයෙක්‌ වෙන්නවත් තවත් අසහාය චරිතයක්‌ වෙන්නවත් නොවේ. ලෝකයා ඉදිරියේ අන්තිමයා වෙන්නමයි. ලෝකයා ඉදිරියේ දෙවැනියෙක්‌ වෙන්නමයි. මොකද ඔහු සම්මා සතිය තුළින් ජීවිතයේ ඇලීමට අදාළ කුණු කන්දල්, ලාටු හිස්‌කරගත් කෙනෙක්‌. නිවන්මාර්ගයට පළිබෝධකයන් ලෙස දකිමින් ජීවිතයෙන් හිස්‌කොටගත් අපවිත්‍ර දෑ ඔහු නැවත ජීවිතයට පුරවාගන්නේ නැහැ. සම්මා සතිය කියන අර්ථයේ ශ්‍රේෂ්ඨභාවයයි ඔබ මේ දකින්නේ. ලෝකයේ උතුම්ම නිදහස උදෙසා නිවන් මාර්ගය අවහිර කරන, ලෝකයට බැඳෙන, ලෝකයට ඇලෙන සියලුම අපද්‍රව්‍ය ජීවිතයෙන් හිස්‌ කරනවා.

කල්ප සියක්‌ කෝටි ප්‍රකෝටි ගණනක්‌, සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ පසුකොට පැමිණි ගමනේ, තවම අපට ලෝකෝත්තර සම්මා සතිය කියන කාරණය සකස්‌කොටගන්න පුළුවන්කමක්‌ ලැබිලා නැහැ. එම නිසා ධර්මය දකින ඇස වැසිලයි තිබෙන්නේ, විෂම අපද්‍රව්‍ය වලින්. මේ අපද්‍රව්‍ය නිසාම අපි ලෝකයට බයයි. ලෝකයාටත් බයයි. මොකද ඔහු තාම පරාජිත චරිතයක්‌. අපරාජිතබවක්‌ ජීවිතය තුළ නැහැ.

සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක්‌ සිංහ නාදයක්‌ කරනවා, මම හරියට සිඟමන් සොයා යන රොඩී රැළක රොඩී දරුවෙක්‌ වගේය කියලා. හරක්‌ රැළක ඉන්න අං කැඩුණු ගොනෙක්‌ වගේය කියලා. උතුම් පැවිදි ජීවිතය කියන්නේ ලෝකයේ ඉදිරියේ පළවෙනියෙක්‌ වෙන්න තියෙන කැමැත්ත පරාජයකොට දැමීමට යන ගමනක්‌. ඔහු ලෝකය තුළ දෙවැනියෙක්‌ වුවත් පරාජිත ලෝකය හමුවේ අපරාජිත චරිතයක්‌. නිරතුරුවම අපිව ලෝකය ඉදිරියේ පළවෙනියෙක්‌ බවට පත්කරන්නේ අප විසින්ම පුරවාගත් බර නිසා. සක්‌කායදිට්‌ටි, විචිකිච්ජා, සීලබ්බත පරාමාස කියන බර, කාමරාග පටිඝයන්ගේ බර, පංචඋපාදානස්‌කන්ධය නිත්‍ය යෑයි කියන්නාවූ මෝහයේ බර නිසා අපි පුද්ගල සංඥාවට බැඳී යනවා. ගිහි ජීවිතය තුළ රූපයන් කෙරෙහි තෘෂ්ණාව නිසාම, ඉහත බන්ධනයන්ට අපි කොටුවෙනවා වගේම පැවිදි ජීවිතයේදී ශීලය, සමාධිය, හුදෙකලාව, විවේකය කියන බැඳීම් වලට බැඳී යනවා. අපි තවම ලෝකෝත්තර සම්මා සතියෙන් පරිපූර්ණ නැතිනම්, ගිහි දායක බැඳීම්, සශ්‍රීක සිව්පසය, ලාභ සත්කාර, කීර්ති ප්‍රසංශාවන් සර්පයන් හැටියටයි දැකිය යුත්තේ.

භික්‍ෂුව සාමණේර අවධියේ වැඩසිටි එක්‌තරා තුන් බිත්ති කුටියක, ලොකු හූනන් කිහිපදෙනෙක්‌ නිතර ගැවසුනා. හූනන්ව කෑමට ප්‍රියකරන කුණකටුවා කියන සර්පයා මැටි බිත්ති දිගේ බඩගාමීන් රාත්‍රියට හූනන් පසුපස හඹායනවා. ඒත් එදා භික්‍ෂුව එම කුණකටුවාට බිය වුණේ නැහැ. නමුත් එදා භික්‍ෂුව කුණකටුවාට වඩා දායක ඇසුරට, සශ්‍රීක සිව්පසයට, ලාභ සත්කාර, කීර්ති ප්‍රසංශාවලට බයවුණා. භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ මුල් වසර හතර මනුෂ්‍ය සමාජය මගහැරලයි භික්‍ෂුව ජීවත් වුණේ. කාටවත් ධර්මයක්‌ දේශනා කළේ නැහැ. ඉහත ධර්මතාවයන් නිරතුරුවම සර්පයන් වශයෙන්මයි දැක්‌කේ.

නමුත් වර්තමානයේ භික්‍ෂුවට ඉහත ධර්මතාවයන් කෙරෙහි බියවීමට අවශ්‍ය නැහැ. ඒ වුණත් ඔබට බියක්‌ දැනෙනවා. නමුත් භික්‍ෂුව බියෙන් මිදිලයි ජීවත් වෙන්නේ. භික්‍ෂුවට ඉහත කාරණය සපථ කිරීම උදෙසා ඔබට දෙන්න සහතිකයක්‌ නැහැ. පිංවත් ඔබට දිය හැකි එකම සහතිකය වෙන්නේ භික්‍ෂුව ආරක්‍ෂා කොටගත් උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි.

එක පිංවත් භික්‍ෂූන්වහන්සේනමක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා ‘ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්‌ද?’ කියලා. භික්‍ෂුව එම ස්‌වාමීන් වහන්සේට ප්‍රකාශ කළේ, භික්‍ෂුව සටහන් තැබූ පොතපත තිබෙනවා, භික්‍ෂුව දේශනා කළ ධර්මය තිබෙනවා, පිංවත් ඔබ වහන්සේට මේවා පරිශීලනය කරලා කැමති තීරණයකට එන්න පුළුවන් කියලයි. භික්‍ෂුව සමාජය තුළ විවෘතව ජීවත්වෙන කෙනෙක්‌. එම නිසා භික්‍ෂුවගේ ශීලය, සමාධිය, ප්‍රඥාව කෙරෙහි චිත්‍රයක්‌ ඔබට අවශ්‍යනම් ඇඳගන්න පුළුවන්. එහෙම ඇඳගෙන කැමති තීරණයකට ඔබට එන්න පුළුවන්. ඔබේ තීරණය කුමක්‌ වුවත් එය භික්‍ෂුවට අදාළ වෙන්නේ නැහැ. මොකද භික්‍ෂුව ලෝකය ඉදිරියේ සිටින්නේ අන්තිමයා හැටියටයි.

හිස්‌ කරපු ජීවිතයක්‌…. අපරාජිත චරිතයක්‌….

මේ ලස්‌සන වචන දෙක භික්‍ෂුවගේ ජීවිතයට හොඳින් ගැලපෙනවා. භික්‍ෂුව ඕනෑම ගිහිපැවිදි පිංවතෙකුට අවවාද කරන්නේ මාර්ග ඵලය ගැන සිතන්න එපා. ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ ශක්‌තිමත්ව ගමන්කරනවා කියන කාරණය පමණක්‌ සිතන්න කියලයි. මේ දුකෙන් නිදහස්‌වෙනවාය කියන කාරණය පමණක්‌ සිතන්න කියලයි. මේ මාර්ග ඵල උන්මාදය කියන්නේ ලෝකය හිනස්‌සන, ධර්මයේ අර්ථය විකෘති කරන කෙලෙස්‌ ගොඩක්‌. මාර ධර්මයන් විසින් වර්තමාන සමාජය තුළ උතුම් අධිගමනයන් හාස්‍යයට පත්කොට තිබෙනවා. විහිළුවක්‌ බවට පත්කොට තිබෙනවා.

නමුත් මේ මොහොත සද්ධර්මයේ දීප්තිමත්ම මොහොතක්‌. බුදුරජාණන් වහන්සේ අද දවස එදා දිවැසින් දකින්න ඇති. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභීන් පහළවෙන මේ උතුම් වර්තමාන කාලය, අධිගමලාභීන් සිංහනාද පවත්වන යුගයයි. තරුණ වීර්යවන්ත ස්‌වාමීන්වහන්සේලා හුදෙකලා වනසෙනසුන් තුළ, පන්සල් ආරාම තුළ වීර්යවන්තව ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන යුගයයි. ගිහි පිංවතුන්ලා ගිහි බැඳීම් තුළ සිටිමින්ම සතර අපායෙන් මිදීමට වීර්යය වඩන යුගයයි. එම නිසා බුදුරජාණන් වහන්සේ දවස යම් ධර්ම ශක්‌තියක්‌ ලෝකය තුළ තිබුණාද, වර්තමානයේ එම ධර්ම ශක්‌තිය ලෝකය තුළ මෝදුවී තිබෙනවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම රහතන් වහන්සේ කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වගේම, මේ ශාසනයේ අවසාන මහරහතන් වහන්සේ වීමට ඔබට සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා.

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස…

තෙරුවන් සරණයි …!

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස.
මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින් අපට අප්‍රමාණ ප්‍රන්‍යස්කන්ධයක් රැස් වෙනවා.
මේ ගැන විශේෂ තොරතුරු ඛුද්දක නිකායට අයත් අප දාන පාලියේ සඳහන් වෙනවා. ගෞතම බුදු සසුනේ නෙකෙළෙස් වූ උතුම් රහතුන් වහන්සේලා අතීතයේ උන්වහන්සේලා ගේ ජීවිත ගතකළ ආකාරය. උන්වහන්සේලා කල්ප ගණනක් ආපස්සට අතීතය දැකලා පෙන්වා දෙනවා මම අතීතයේදී ස්ථූප රාජයාණන් වහන්සේට චක්‍රයක් පූජා කළා, වස්ත්‍රයක් පූජා කළා.

එයින් රැස් වූ පුණ්‍යස්කන්ධයේ විපාකයක් ලෙස මේ ආකාරයට දුගතියේ නොයා බොහෝ කාලයක් සුගතියේ ඉපදිලා පසුකලකදී බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලැබීමට පවා ඒ පින හේතු වූ බව. එනිසා ස්ථුපයකට මොනයම් අයුරින් හෝ දායකත්වය ලබාදෙන සැදැවතුන්ට බොහෝ පින් එක්රැස් වෙනවා. එපමණක් නොවේ තැනූ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් කෙනෙක් දැකබලා සිත පහදවා ගෙන වන්දනා මාන කළද එයින් බොහෝ පින් එකතු වෙනවා.
ඒ පිළිබඳව ඛුද්දක නිකායට අයත් විමාන වත්ථු හි සඳහන් වෙනවා එක්තරා ස්ත්‍රියක් වැටකොලු මල් හතරක් ධාතු ස්ථුපයකට පූජා කරන්නට යද්දී ගව දෙනක්ගේ පහර කා මරණයට පත්වෙලා ඒ මොහොතේදීම තවුතිසා දිව්‍ය ලෝකයේ උපත ලබනවා. ස්වර්ණ වර්ණ වූ සියලු ආභරණ ඒ වගේම සියලු වස්ත්‍ර සහිතව සෝබමාන සිරුරකින් යුතුවයි එහි ඉපදුනේ. ඇයගේ සැප සම්පත් දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා ඒ ගැන විමසද්දී ඒ දෙව්දුව පැවසුවේ තථාගතයන් වහන්සේ ගේ ධාතු ස්ථූපයකට වැටකොලු මල් පූජා කරන්න යද්දී තමයි කලුරිය කළේ.
ඒ තුළින් රැස් වූ ප්‍රන්‍ය විපාක තමයි අත් විඳින්නේ කියලා. එසේ පින් එලදෙන ආකාරය විමාන වන්ථු පාලියේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. එහි තැනක සඳහන් වෙනවා “දාගැබ් වහන්සේලාට, ගුණවත් සංඝයාට, ආගන්තුකයන්ට, මව්පියන්ට, වැඩිමහළු පිරිසට දන්දීමේ ගෞරව කිරීම් ආදිය කරනවා නම් මේ පුන්‍ය නිධානය කාටවත් සොරකම් කරන්න බෑ කියලා. පරලොව යද්දී එය තමාගේ පස්සෙන්ම එනවා. දෙවි මිනිසුන්ට තමන් කැමති කැමති හැම තැනම ලබා දෙන්නේ මේ පුන්‍ය නිධානයෙන් බව. ඔබ ස්ථුපයක් තැනීමට උදව් උපකාර කළ පින මේ ථේරපදානයන් කියවා මෙසේ තේරුම් ගන්න.

නිවන් සුව විදින්නට..

🌹නිවන් සුව විදින්නට – 1 කොටස

ඔබ බෞද්ධයෙක් නම් කුඩා කාලයේ සිටම “නිවන” යන වචනය නුහුරු දෙයක් නොවේ. බුදු රජාණන් වහන්සේ උදෙසා මලක් පූජා කොට, පහනක් දල්වා, සුවඳ කූරක් දල්වා හෝ කවර ආකාරයේ පුණ්‍යක්‍රියාවක් කොට අප පැතුවේ “නිවන”යි. ස්වාමින් වහන්සේ නමක් පවා අපට ආශිර්වාද කළේ එලෙසිනි.

“දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවනින් සැනසේවා “
“මෙතේ බුදුන් දැක නිවන් දකිම්වා “
මෙවැනි ප්‍රාර්ථනා අප කනට නුහුරු නොවේ.

නමුත් “අද අදම නිවන් සුවයෙන් සැනසේවා” ලෙසින් අපට ඇසී ඇත්තේ ඉතාමත්ම අල්ප වශයෙනි. නැතහොත් නැත්තටම නැතුවාක් මෙනි.
“නිවන” ප්‍රාර්ථනා කළඳ, “නිවන” යනු කුමක්දැයි අපට එතරම් දැනීමක්, අවබෝධයක්ද තිබුණේ නැත.

“නිවන් දැක්කොත් යළි ඉපදීමක් නැත” යන්න අප අසා ඇත. එවිට ඇත්තටම අප සිත් වලට ආවේ මහා සතුටක්ද ?
අප වටා මහත් ආදරයෙන් සිටින අම්මා, තාත්තා, සහෝදර සහෝදරයන්, මිතුරන්, නෑදෑයන්, සියළු දෙනා අතහැර නිවන් දැකීමට සැබවින්ම ඔබ සතුටු වූවාද? අවංකවම සිතනවානම් ‘නැත’ යන පිළිතුර ලැබෙනු ඇත.
දැන්ම නිවන් දකින්නට බැරි බවක් සිතට දැනෙන්නට විය. “නිවන” යනු හැමදාම “පසුවට කල් දමන දෙයක්” බවට පත්වූයේද එබැවිනි. එය කෙසේද යත් සසර කෙළවරටම දමන ලදී. නමුත් සෑම භවයකදීම, මේ සසර පුරාවටම අප කරමින් පැවතියේද එයයි.

බුදු රජාණන් වහන්සේ, මහ රහතන් වහන්සේලා නිවන් දැක යළි ඉපදීම නැති කොට ඇති බව අපි දනිමු. අප සිත් තුළ උන් වහන්සේලා කෙරෙහි ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි. “සාධු සාධු..” කියමින් අප මහත් වූ ශ්‍රද්ධා සිතින්, ඒ උතුමන් වහන්සේලා නිවන් දැකීමට කටයුතු කරන ලද ආකාරය ගැන සඳහන් කතා වලට සවන් දෙමු.
උන් වහන්සේලා කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවෙන් අප්‍රමාණ පින් කම් වල යෙදෙමු.
යෙදී සියළු ලෞකික ප්‍රාර්ථනා අවසානයේ “සැප කෙළවර නිවන” ද ප්‍රාර්ථනා කරමු. මේ මොහොතේම, වහ වහා මේ දැන්ම නම් “නිවන ” ඕනෑ වූ අය ඉතාමත්ම ඉතාමත්ම අල්පය.
මෙය වූ කලී බෞද්ධයාගේ සැබෑම ප්‍රායෝගික තත්වයයි.

බුදු රජාණන් වහන්සේ විසින් ” අසුර ගසන ක්ෂණයක තරම්වත් කාලයක් භවයේ රැඳී සිටීම වර්ණනා නොකරමි” යනුවෙන් දේශනා කොට පවතිද්දී..,
” හිස ගිනි ගත්තත් ඒ ගින්න නිවන්නට වත් පමා නොවී අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න” යැයි දේශනා කරද්දී…

උන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන් යුත් බෞද්ධයන්, උන් වහන්සේටම පුද පූජා පවත්වමින් , පින් රැස් කරගනිමින් තව තවත් භවයම පතන්නට පුරුදු වී ඇත්තේ ඇයි ?

මේ සියල්ලටම හේතුව නොදන්නාකමය.
කුමක් නොදන්නා කමද ?
ඇත්ත වශයෙන්ම ගතහොත් කිසිවක් පිළිබඳව හරි හැටි නොදත් කමය.
අප කොතෙක් පුද පූජා කළඳ, පුරුද්දට ඇතිවූ ශ්‍රද්ධාවක්, භක්තියක්, ගෞරවයක් තිබුණද, මේ මේ දේ කළහොත් පින් ය , පව් ය කියා අසා තිබුණද කිසිවක්ම ගැන පැහැඳිළි අවබෝධයක්, මනා දැක්මක් නොතිබීමම මෙයට හේතුවය.

ඇත්තෙන්ම අප,

☸ බුදු රජාණන් වහන්සේ යනු කවුරුන්ද ?
☸ උන් වහන්සේ දේශනා කළ ධර්මය කුමක්ද ?
☸ ඒ ධර්මය පිළිපැඳීමෙන් කුමක් ලැබෙන්නේද ?
☸ එය පිළිපඳින්නේ කෙසේද ?
☸ ඒ දහම පිළිපඳින්නට ආරම්භය කුමක්ද ?
☸ කුමක්ද මේ සසර ?
☸ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්, නිවන යනු මොනවාද ?

ආදී කිසිවක් ගැන හරියාකාරයෙන් දන්නේ නැත.
එසේ දැන සිටියානම් අප මොහොතක්වත් ප්‍රමාද වන්නේද නැත..!

එසේ අප නොදන්නා දේ ගැන ක්‍රමානුකූලව පියවරෙන් පියවර දැන ගනිමින්, නිවන ලබා ගන්නා ආකාරය ගැන පැහැඳිළි අවබෝධයක් ලබා ගැනීමට, ඔබගේ අදහස් , යෝජනා, ගැටළු වලට හැකි අයුරින් පිළිතුරු සපයමින් , බහුතරයක් දෙනාට අවබෝධ කර ගැනීමට පහසු අයුරින්, සරලව මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

හැකි තරම් මෛත්‍රි, කරුණා පිරිසිදු සිතින් ලියමි. කියවන ඔබද එලෙසින්ම වේවා…!!!

මතු සම්බන්ධයි…!.

☸ධර්ම දානය පිණිස මිතුරන් අතර share කරන්න☸

                        🌹තෙරුවන් සරණයි 🌹

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ යුගයක බෞද්ධයෙක් හැටියට කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක් ද.?

ප්‍රශ්නය :

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ යුගයක බෞද්ධයෙක් හැටියට කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක් ද.?

පිළිතුර :

දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකයේ කරන්න තියෙන ශ්‍රේෂ්ඨ ම, උතුම් ම පූජාව, සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානයයි කියලා. තේරුණාද…?

■ එතකොට, මේ ලෝකයේ යමෙකුට කරන්න තියෙන උතුම් ම පූජාව තමයි… බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා, මහ රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා, සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. එතකොට, ඒ පින තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලය. ඊට වඩා ශ්‍රේෂ්ඨ කුසලයක් මේ ලෝකයේ නැහැ.

■ දෙවෙනි එක තමයි, බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැහැ. නමුත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. රහතන් වහන්සේලාට, මහා සංඝයා අරමුණු කරගෙන දන්දෙනවා. ඒක තමයි දෙවෙනි ශ්‍රේෂ්ඨ ම කුසලය මේ ලෝකයේ තියෙන.

■ එතකොට, තුන්වෙනි ශ්‍රේෂ්ඨ කුසලය තමයි, එතන අනාගාමී ඵලයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, ඒ ස්වාමීන් වහන්සේට, මහා සංඝයා අරමුණු කරගෙන දන්දෙනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එතන ඉන්නවා. ඒක තමයි තුන්වෙනි ශ්‍රේෂ්ඨ දානය.

■ එතකොට, හතරවෙනි ශ්‍රේෂ්ඨ දානය තමයි, ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. එතන සකෘදාගාමී ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. ඒ සියලු දෙනාට ම, සංඝයා අරමුණු කරගෙන දන්දෙනවා. ඒක තමයි හතරවෙනි ශ්‍රේෂ්ඨ දානය.

■ පස්වෙනි ශ්‍රේෂ්ඨ දානය තමයි, එතන සෝවාන් ඵලයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා, සංඝයා අරමුණු කරගෙන දන්දෙනවා. එතකොට, ඒක තමයි පස්වන ශ්‍රේෂ්ඨ දානය.

■ ඒ විදිහට මෙහෙම මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සාමණේර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දානය. සාමණේර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දානය.

■ ඉනුත් පල්ලෙහාට ගිහිල්ලා තමයි, අපි හිතමු… උපෝසථ දසසිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් ඉන්නවනේ. ඒ අයට දෙන දානය.

■ ඊට පස්සේ උපෝසථ අෂ්ටාංග ශීලය සමාදන් වූ අයට දෙන දානය.

■ ඊට පස්සේ ආජීව අට්ඨමක ශීලය සමාදන් වූ අයට දෙන දානය.

■ ඊට පස්සේ පංච ශීලය සමාදන් වූ අයට දෙන දානය.

■ ඊට පස්සේ තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දානය.

■ ඉන්පස්සේ තමයි, ළමා නිවාසවලට, රෝහල්වලට දෙන දානය තියෙනවනේ. ඒගොල්ලොන්ට දෙන දානය අයිති වෙන්නේ ඊටත් වඩා පල්ලෙහාට.

■ ඉනුත් පල්ලෙහාට තමයි ඔය බලු කපුටන් උදෙසා දෙන දානයන්. නමුත් අපි රෝහලට ගිහිල්ලා, ළමා නිවාසෙට ගිහිල්ලා දන් දෙද්දි ඒගොල්ලෝ පංචශීලය සමාදන් වෙලා ඉන්න පිරිසක් නම්, ඒගොල්ලන්ට පංචශීලය සමාදන් වෙච්ච කෙනාට අදාළව දෙන්නා වූ දානයේ ආනිශංස තියෙනවා.

ඒ නිසා දානයේ ආනිශංස පක්ෂය වැඩිවෙන්නේ ඒ අය සමාදන් වෙලා ඉන්නා වූ ශීලයේ ගුණාත්මක භාවය තුළ යි. තේරුණාද..?

ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ම දානය තමයි, බුදුරජාණන් වහන්සේත් මහා සංඝයාත් අරමුණු කරගෙන දෙන්නා වූ දානය. බුදුරජාණන් වහන්සේට මහා ප්‍රජාපතී ගෝතමිය එක්තරා අවස්ථාවක චීවරයක් ගෙනල්ලා පූජා කරන්න හදන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, “ගෝතමිය, මේක සංඝයා අරමුණු කරගෙන පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගන්න එපා.” “සංඝයා අරමුණු කරගෙන පූජා කරගන්න” කියලා. නමුත් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි තුන් අවස්ථාවෙ ම මහා ප්‍රජාපතී ගෝතමිය ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම මත තමයි ප්‍රජාපතී ගෝතමිය තේරුම් ගන්නේ, මහා සංඝයාට පූජා කරපු දේයි ආනිශංස වැඩි කියලා. ඒ නිසා මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යමෙක් මලකින් හරි පූජා කරනවා නම්, ඒ පූජා කරන මලෙන් ලැබෙන්නා වූ කුසලය කවදාක්වත් අපිට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ.

එක මහත්තයෙක් කිව්වා, “ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේට සියලු ම සිව්පසයන් ලැබෙනවා.” අපි කියමු පාරෙ ඉන්න දුගියෙකුට මොකුත් නෑ, බඩගින්නේ ඉන්නෙ කියලා. එතකොට, අපි කියමු, අපි බත් පාර්සලයක් අරගෙන යනවා. බත් පාර්සලයක් අරගෙන යනකොට දැන් අපිට පේනවා, යාචක මහත්තයෙක් ඉන්නවා. මෙයා සුමානෙකින් වත් කාලා නැහැ. නමුත් ඒ යාචක මහත්තයාට ඉස්සරහ තව මීටර් 500ක් ගියහම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් කෙනෙක් එනවා. කෙනෙක් බත් පාර්සලය අරන් ඇවිල්ලා කල්පනා කරනවා, “බුදුරජාණන් වහන්සේට ඕන තරම් දාන තියෙනවා. මේ යාචක මහත්තයා දැන් මෙතන මැරෙන්නයි යන්නේ. මම මෙයාට බත් පාර්සලය දෙනවා” කියලා. එයා අර යාචක මහත්තයාට බත් පාර්සලය පූජා කරලා, එයා යනවා.

තව මහත්තයෙක් එනවා, බත් පාර්සලයක් අරගෙන. එයත් දකිනවා, අතන නිරාහාරව ඉන්න යාචක කෙනාව. නමුත් එයාව දැකලා බුදුරජාණන් වහන්සේත් දකිනවා. එතකොට, එයා කල්පනා කරනවා, බුදුරජාණන් වහන්සේට දෙන දානයේ මහත්ඵල මහානිශංසයි කියලා. එයා යාචක මහත්තයාව පසුකරගෙන ගිහිල්ලා, එයා අර බත් පාර්සලය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතකොට, දැන් මේ දෙකෙන් ආනිශංස වැඩි කුමක්ද..? බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ දානය යි. එතකොට, ඒ යාචක මහත්තයා අතන කුසගින්නෙන්, ආහාරයෙන් නිරාහාරව ඉන්නේ එයා කළා වූ අකුසල් විපාකයක් නිසා. එයා පෙර ජීවිතයේ දන් දුන්නේ නෑ. දන් දෙන දේවල් වැළැක්වුවා. වැළැක්වීම නිසා එයාට බඩගින්නේ තමයි මැරෙන්න හරි, ජීවත් වෙන්න හරි තියෙන්නේ. ඒ නිසා එතනදි මහත්ඵල මහානිශංස භාවයට පත්වෙන්නේ, බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දානය ම යි.

දැන් සමහර වෙලාවට සමහරු කියනවා, අපේ ගිහි පින්වතුන්ලා ගිහිල්ලා බෝධීන් වහන්සේව කිරි කළවලින් නාවනවා කියලා. කිරි කළ දහයක් බෝධීන් වහන්සේ නෑව්වහම කෙනෙක් චෝදනා කරනවා, “අනේ මේ කිරි කළ දහය අර දුප්පත් ළමයි පිරිසකට දුන්නා නම් කොතරම් පිනක් ද.?” කියලා. නමුත් ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ දී අපිට මේක සාධාරණයි කියලා දකින්න පුළුවන් ඒ ප්‍රකාශය. නමුත් කර්මය, කර්මඵල තුළදි, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන, බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ වූ බෝධිය අවබෝධ කරගෙන යමෙක් කිරි කළවලින් බෝධීන් වහන්සේ නෑව්වා නම්, මෙතන දාහක පිරිසකට දන් දුන්නාට වඩා වූ ශ්‍රේෂ්ඨ පිනක් අතනින් රැස්වෙනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දානයයි අග්‍ර වෙන්නේ, ඒ වගේ ම මහා සංඝ රත්නය උදෙසා දෙන දානයයි මුල් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වෙලාවේ අපිට මේ මාර්ගයේ දශමයක් හරි අපි මේ ධර්ම මාර්ග යේ ගමන් කරනවා නම්, ඒ දශමයක් හෝ ධර්ම මාර්ගය අපිට පහදලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා අපි ශාස්තෲන් වහන්සේ මුල්කොට ගෙනයි මේ ගමන යන්න ඕන. ඒ නිසා ශාස්තෲන් වහන්සේ මුල්කොට ගෙන යන ගමනේ දී අපි යන්නේ කොහාට ද…? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ.

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළයි මේ ගමන යන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් ම මාර්ග අංගය මොකක්ද..? සම්මා දිට්ඨිය… සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය, ලෝකේත්තර සම්මා දිට්ඨිය කියලා දෙකකට බෙදනවා. නමුත් අපි මුලින් ම ඉන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුළ. එතකොට, ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද..? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව යි, මුල් කාරණය. එහෙනම් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව කියලා කියන්නේ, බුදුරජාණන් වහන්සේත්, ධම්ම රත්නයත්, සංඝ රත්නයත් කෙරෙහි ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව. එහෙනම් බුදුරජාණන් වහන්සේමයි මුල්වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මේ යන ගමනෙදි, අපි මුලින් ම බුදුරජාණන් වහන්සේට කරන්නා වූ පුද පූජා, ඒ වත් පිළිවෙත් අපිට මේ ගමන යන්න ශක්තියක් වෙනවා.

නමුත් අපි එතන නතර වෙන්න, පල්වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා කැමති කෙනා ආමිසය පසුකරගෙන ප්‍රතිපත්තියට යනවා. නමුත් හැම කෙනාට ම අපිට කියන්න බැහැ, ප්‍රතිපත්තියට යන්න කියලා. හැම කෙනෙකුට ම අපිට කියන්න බැහැ බුදුරජාණන් වහන්සේට මේ පූජාවන් කරන්න එපා, ඔබලා භාවනා කරන්න කියලා හැමෝට ම කියන්න බැහැ. මොකද, හැම කෙනෙක් ම මේ මාර්ගය තුළ දාන, ශීල, භාවනා කියන මාර්ගය තුළ තමයි මුලින් ම ඉස්සරහට යන්නේ. ඒ නිසා මුලින් ම අනිවාර්යයෙන්මම බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ කරන වත්පිළිවෙත් කරන්න ඕන. ඒවායින් බැහැරව අපිට ගමන ඉස්සරහට යන්න බැහැ. ඉස්සරහට යන කෙනා මේක පසුකරලා ඉස්සරහට යාවි. එයාට ආමිසය අතහැරලා ප්‍රතිපත්තියට යන්න පුළුවන්. නමුත් හැමෝට ම අපිට ප්‍රතිපත්තියට යන්න කියන්න බැහැ, ආමිසයෙන් බැහැර වෙලා. තේරුණාද.?

මොකද, ඉන්න අයගේ ඉන්ද්‍රිය ධර්මයන් එක එක ස්වභාවයෙන් තමයි තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රියන් වැඩීමේ ස්වභාවය මත තමයි එයා ඉස්සරහට යන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්මයන් වැඩීමේ අඩු ස්වභාවයන් තියෙන අයට, අරයා යන මාර්ගයේ යන්න කියලා අපිට කියන්න බැහැ. එයා අතන නවතිනවා. එතනින් හරි එයා සතුටු වෙනවා.

දැන් කවදාකවත් අපිට කියන්න බැහැ, වෙසක් එකට පෙන්නන්නා වූ තොරණ වැරදියි කියලා. වෙසක් එකට මේ තියෙන්නා වූ මේ උත්සව වැරදියි කියලා. මොකද, මුළු ජීවිතයේට ම පන්සලට නො ගිය මනුස්සයෙක් ඉන්න පුළුවන්. ඒ පන්සලට නො ගිය මනුස්සයා වෙසක් දවසට වෙසක් තොරන් බලන්න යනවා. දැන් තොරණ බලලා අර බුදුරජාණන් වහන්සේගේ රූප කාය, අර රශ්මි ධාරාවන්, අර ලයිට් දැකලා ඒ ගැන හිතමින් එයා ගෙදර එනවා. නමුත් කවදාකවත් පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා නැහැ. නමුත් හිතමින් ගෙදර ඇවිල්ලා රෑ නිදාගන්න කොට එකපාරට මැරෙනවා. මැරෙන වෙලාවේ සිහිපත් වෙන්නේ අර තොරණ. එයා ගිහිල්ලා සශ්‍රීක දෙවියෙක් වෙලා උපදිනවා. එහෙනම් තොරණ කියන දේත් වැරදියි කියලා අපිට කියන්න බැහැ. මොකද, ඊට අදාළ අය ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. ඉතින් අපි එතනින් ඉස්සරහට ගියා නම් අපි දැනගන්න ඕන ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට යන්න.

නමුත් ප්‍රතිපත්ති මාර්ග යේ ඉස්සරහට ගියත්, කවදා හරි අපි මේ මාර්ගයේ ගිහිල්ලා රහත් භාවයට පත්වෙන්න තමයි අපි මේ යන්නේ. නේද..? නමුත් රහතන් වහන්සේ වුණත් තමන්ගේ ශාස්තෲන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේට මලින්, සුවඳින් පූජා කරනවා. නමුත් උන් වහන්සේට සංස්කාරයන් පිළිබඳ ගැටලුවක් නෑ. උන් වහන්සේට කුසල් සිත්, අකුසල් සිත් සකස් වෙන්නේ නැහැ. නමුත් මාර්ගය පෙන්වූවා වූ බුදුරජාණන් වහන්සේ කියන ගරුත්වය එයාට තියෙනවා. එතකොට, කවදා හරි දවසක අපි රහත් භාවයට පත්වුවත් ඒ රහතන් වහන්සේ කියන්නේ පරමාදර්ශී චරිතයක්. පරමාදර්ශී චරිතයක් කියන්නේ රහතන් වහන්සේ මුළු ලෝකයට ම ආදර්ශවත්ව තමයි ජීවත් වෙන්නෙ.

රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද, උන්වහන්සේ තුළ කුසල්, අකුසල් රැස්වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ලෝකයේට පරමාදර්ශයක් වෙන්න ඕන. ලෝකයේට පරමාදර්ශයක් වුණු තැනදි රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ උදෙසා මලින්, සුවඳින් පූජා කරනවා. මොකද, එහෙම නො කළොත් රහතන් වහන්සේ අනුගමනය කරලා අනිත් අයත් ඒක නො කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ශාස්තෲන් වහන්සේයි. උන් වහන්සේයි මේ මාර්ගය අපිට මතුකරලා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ උදෙසා තමයි අපි මුලින් ම පූජාවන් සිද්ධ කරන්න ඕන…!!!

තෙරුවන් සරණයි ….!!!

උපුටා ගැනීම :- සිරස ගුවන් විදුලියේ ප‍්‍රචාරය වූ ‘‘පන්සිල් මළුව’’ වැඩ සටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් විමසනු ලැබූ ප‍්‍රශ්නවලට අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම්, අන්තර්ජාලයෙන් උපුටාගෙන හසිත චන්දන වීරසිංහ මහතා විසින් සකස් කළ “පන්සිල් මළුව ධර්ම සාකච්ඡා 01” නම් දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා පිළිගන්වමු…

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…

අනෙකුත් ධර්ම කරුණු සඳහා පිවිසෙන්න – https://www.facebook.com/kaalenadharmasaakachcha/